හරක්කටා ඊයේ අධිකරණ සංකීර්ණයේදී කළ ප්‍රකාශය ගැන විමර්ශනයක්

හරක්කටා ඊයේ අධිකරණ සංකීර්ණයේදී කළ ප්‍රකාශය ගැන විමර්ශනයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම්භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා ඊයේ කොළඹ මහාධිකරණය හමුවට රැගෙන එනු ලැබුවා.

දැඩි ආරක්ෂක රැකවල් මැද නදුන් චින්තක නොහොත් හරක් කටා අධිකරණය වෙත රැගෙන ආ අතර අධිකරණ පරිශ්‍රයට යාමට මත්තෙන් සහ නඩු කටයුතු අවසන් වීමෙන් අනතුරුව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශයක් කළා.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අප සමග සඳහන් කළා.

ඒ අනුව අදාළ විමර්ශන කටයුතු පිළිබඳ මේ වන විට පොලිස්පතිධුරයේ වැඩ ආවරණ කරනු ලබන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට උපදෙස් දුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

තවද ඇතැම් කරුණු පිළිබඳව ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ හරක් කටා කළ ප්‍රකාශය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකරන බවයි.

නඳුන් චින්තක නැමැත්තා අදාළ ප්‍රකාශය මාධ්‍යට සිදු නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ අධිකරණයට කළේ නම් වඩාත් යෝග්‍ය බවද අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් ඔහු කළ ප්‍රකාශය බැරෑරුම් බැවින් වැඩබලන පොලිස්පතිවරයාට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට උපදෙස් ලබාදුන් බව ද ඔහු කියා සිටියා.

මත්ද්‍රව්‍ය ජාවාරම, සංවිධාන්තමක අපරාධ ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති නඳුන් චින්තක නොහොත් හරක් කටා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙරටට රැගෙන එනු ලැබුවා.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවූ හරක් කටා පොලිස් නිලධාරියෙකුගේ ඇතුළු කිහිප දෙනෙකුගේ සහය මත පළා යාමට තැත් කලද විශේෂ කාර්ය බලකා සෙබලෙකුගේ උත්සාහය මත එය වැලකී ගියා.

අනතුරුව සැකකරු ත්‍රස්ත විමර්ශන කෝට්ඨාශ භාරයට පත් කළ අතර ඔහු මේ වන විට තංගල්ල පැරණි බන්ධනාගාරය පිහිටි ගොඩනැගිල්ලෙහි රඳවා ඇත්තේ දැඩි ආරක්ෂක රැකවල් මැදයි.

Share This