හල්ලොලුවට වෙඩි තැබීමේ සැකකරුවන් අධිකරණයට

හල්ලොලුවට වෙඩි තැබීමේ සැකකරුවන් අධිකරණයට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයෙක් වූ තුසිල හල්ලොලුව මහතා ගමන්ගත් ජීප් රථයට නාරාහේන්පිට ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාසය තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

ගනේමුල්ල සහ ගිරිඋල්ල ප්‍රදේශයන්හි පදිංචි 24 සහ 38 යන වයස්වල පසුවන පුද්ගල‍යින් වන ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් සන්තකයේ තිබී ටී 56 වර්ගයේ ජීව පතරොම් 13ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 590ක්, විද්‍යුත් තරාදියක්, ජංගම දුරකථන 3ක් ද සොයාගත් බවයි.

තුසිල හල්ලොලුව මහතා ගමන්ගත් ජීප් රථයට නාරාහේන්පිට ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබු බව වාර්තා වුනේ ඉකුත් මස 17 වැනිදායි.

පසුව එම පුද්ගලයින් තමන්ට පහරදී අත්‍යාවශ්‍ය ලිපි ගොනුවක්ද පැහැරගෙන ගිය බවයි ඔහු නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කර තිබුණේ.

ඒ අනුව අදාළ විමර්ශන නාරාහේන්පිට පොලිසිය හා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ආරම්භ කළ අතර මීට පෙර අවස්ථා දෙකකදී කාන්තාවක් ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය කටයුතු කළා.

Share This