හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද, නලින් සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්ට අධි චෝදනා බාරදෙයි- මහින්දානන්ද දැක බිරිද කදුළු සලයි

හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද, නලින් සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්ට අධි චෝදනා බාරදෙයි- මහින්දානන්ද දැක බිරිද කදුළු සලයි

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා දීම තුළින් රුපියල් තුන්කෝටි අනූ ලක්ෂයකට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සදහන් කරමින් මේ වන විට සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට අද(21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙනු ලැබුවා.

නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබු අතර ඒ විත්තිකරුවන් තිදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ චෝදනා භාර දුන්නා.

එහිදී විත්තිකරුවන් රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසද විනිසුරුවරයා නියෝග කළා.

චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නලින් ලද්දුවේට්ටි සහ සංජේ රාජරත්නම් යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනා වලට සමාන චෝදනාවලට සිය සේවා දායකයින් වෙනත් අධිකරණයකින් වරදකරු වී දඩුවම් නියම වී සිටින බව පෙන්වා දුන්නා.

එබැවින් ඊට සමාන චෝදනාවලට මෙම විත්තිකරුවන්ට එරෙහිව යළි නිතිපතිවරයා විසින් නඩු පවරා තිබෙන බවත් එබැවින් මෙම චෝදනාව නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බවත් ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ පැවසුවා.

එකම චෝදනාවක් සම්බන්ධයෙන් දෙවතාවක් නඩු පවරා පවත්වාගෙන යාමට නොහැකි බව දක්වමින් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතිඥවරු සඳහන් කළා.

තුන්වන විත්තිකාර නන්ද මල්ලවාරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා මේ හා සමාන තවත් නඩුවක සාක්ෂිකකරුවකු වශයෙන් සාක්ෂි ලබාදී තිබෙන බව අධිකරණයට දැනුම් දුන්නා.

එසේ තිබියදී ඔහු මෙම නඩුවේ විත්තිකරුවකු කිරීම නීතියට පටහැනි බවත් ඒ අනුව මෙම චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව දක්වමින් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නා.

එම අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා සඳහන් කළේ මෙම නඩුවට අදාළ සිද්ධමය කරුණු එකක් බව විත්තිය විසින් සඳහන් කල ද මෙම නඩුව තුළින් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා වෙනස් බව කියා සිටියා.

විත්තිය විසින් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමෙන් පසුව තමන් නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණය හමුවේ පැහැදිලි කිරීමට සූදානම් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව විනිසුරුවරයා විසින් විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ මූලික විරෝධතා සැප්තැම්බර් මස 4 වැනිදා ඉදිරිපත් කරන ලෙසයි.

කෙසේ වෙතත් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට මෙම නඩුවට අදාළව ඇප නියම කළද ඔවුන් වෙනත් නඩුවකට සිර දඬුවම් ලබා සිටින බැවින් ඔවුන්ව මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාර නිලධාරීන්ට නියම කළා.

මෙම නඩුවේ නඩු භාණ්ඩ ලෙස ලේඛන 11 ක් නම් කර ඇති අතර සාක්ෂිකරුවන් සංඛ්‍යාව 42ක් බව අධිචෝදනා පත්‍රයේ දැක් වෙනවා.

 

Share This