හිටපු අමාත්‍ය කෙහෙළියට සහ පුත් රමිත්ට ඇප

හිටපු අමාත්‍ය කෙහෙළියට සහ පුත් රමිත්ට ඇප

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ පුත් රමිත් රඹුක්වැල්ල අද වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා.

දූෂණය නමැති චෝදනාව යටතේයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට හේතුවී තිබුණේ සිය අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටින කාලය තුල පුද්ගලයින් පහළොස් දෙනෙකු නාමිකව තම කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ඔවුන්ට හිමි වැටුප්, දීමනා සහ අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 80කට අධික පාඩුවක් සිදුකළ බවට වූ චෝදනාවයි.

ඒ පිළිබඳව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන නඩුකරය අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය විසින් ඔවුන් ඇපමත මුදා හැරීමටයි නියෝග කළේ.

සැකකරුවන් රුපියල් 50,000/- බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළේ සැකකරුවන්ගේ ඇපකරුවන් ඔවුන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවත් නියෝග කරමින්.

අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණයේ ඉල්ලීමක් කරමින් සැකකාර රමිත් රඹුක්වැල්ල මහතාගේ ආදර්ශ අත්සන් විමර්ශන කටයුතු සඳහා ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ඒවා ලබා දෙන ලෙස ඔහු වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියාය.

එම ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය රමිත් රඹුක්වැල්ල මහතාට හෙට (04) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට එම ආදර්ශ අත්සන් ලබා දෙන ලෙස නියම කළ අතර අනතුරුව අදාළ පැමිණිලි යළි ඔක්තෝබර් මස 10 වනදා කැදවීමටද නියම කළේය.

Share This