
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා ගේ නඩුව සැප්තැම්බර් 07 ට කල් යයි
රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදුකිරීම තුළින් දූෂණය නැමති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 07 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද(20) නියම කළා.
මෙම නඩුව කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්ත මහතා ඉදිරියේයි.
එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධිචෝදනා පත්‍රයට සංශෝධන කිහිපයක් එක්කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.
ඒ අනුව අදාළ අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමටයි අධිකරණය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දුන්නේ.
ඉන් අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය මෙම අධිචෝදනා පත්‍රය හා සම්බන්ධ ලේඛන ඇතුළත් සංයුක්ත තැටියක් විත්තියේ නීතිඥවරුන්ට ලබා දුන්නා.