හිටපු ඇමතිණි චන්ද්‍රාණිට එරෙහි නඩුව සැප්. 04 ට කල් යයි

හිටපු ඇමතිණි චන්ද්‍රාණිට එරෙහි නඩුව සැප්. 04 ට කල් යයි

පසුගිය යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදු කළේ යැයි චෝදනා කර හිටපු ඇමතිණි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 04 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා අද (28) නියෝග කළා.

නඩුව අද කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍යවරිය අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙම චෝදනාවට අදාල අධි චෝදනා පත්‍ර ඉකුත් ජුලි 06 වැනිදා හිටපු අමාත්‍යවරියට බාර දුන් අතර ඉන් පසුව ඇය රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද අධිකරණය විසින් නියෝග කළා.

විත්තිකාර හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ චෝදනා 11 ක් එල්ල කර තිබෙනවා.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 08 දෙනකු නම් කර තිබෙන අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 25 ක් ද නඩුව සමග ඉදිරිපත් කර තිබුණා.

Share This