හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට (VIDEO)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට (VIDEO)

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බන්ධනාගර ආරංචි මාර්ග පැවසුවේ වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපතිවරයා මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි.

රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්ත වුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නියම කළා.

කොළඹ කොටුව මෙහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය මෙම නියෝගය නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙරට ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දීයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයටයාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබූ විමර්ශනයකට අදාලවයි ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ.

Share This