හිටපු නාවික හමුදාපති අද්මිරාල් උළුගේතැන්න අගෝස්තු මස 13  දක්වා රිමාන්ඩ්

හිටපු නාවික හමුදාපති අද්මිරාල් උළුගේතැන්න අගෝස්තු මස 13 දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යළිත් එළැඹෙන අගෝස්තු මස 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

මෙම නියෝගය නිකුත් කළේ අද (30) පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහු ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේ සිදුව ඇති පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු නාවික හමුදාපතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ පසු ගිය 28වැනිදායි.

ඒ අනුව, හිටපු නාවික හමුදාපතිවරයාව එදින පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ජූලි 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළා.

විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති බැවින් ඇප ලබා නොදෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරුණු දැක්වූ අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

Share This