
හෙළ නිළි රැජින මාලිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනි ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරෙනවා.
ඒ, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි.
ජාතික චිත්‍රපට සංස්ථාවේ මේ වන විට තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති දේහය පෙ.ව. 8.00ට කොළඹ 07 නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යාමටයි නියමිතව ඇත්තේ.
ඉන්පසුව පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසාදීමට කටයුතු යොදා තිබෙනවා.
ප.ව. 3.30ට ඇය අධ්‍යාපනය ලද කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත මාලිනියගේ දේහය රැගෙන යාම සිදුවනු ඇති.
පසුව, බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සහ ඉන් අනතුරුව පැවිදි අනුශාසනාව සහ ඇයගේ සිනමා දිවිය පිළිබඳ කලාකරුවන් විසින් විශේෂ ඇගයීම සිදුකරනු ලබන අතර අවසානයේ දේහය ප.ව. 5.45ට දේහය චිතකය වෙත රැගෙන යාම සිදු කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව පුෂ්පෝපහාර මධ්‍යයේ චිතකය දැල්වීමෙන් පසු මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිමකිරීමට නියමිතව තිබෙනවා.