“ෆ්‍රෙඩී” නිසා මලාවියේ දිස්ත්‍රික්ක 10කට බලපෑම් -හෙට ඉන්දියාවට ?

“ෆ්‍රෙඩී” නිසා මලාවියේ දිස්ත්‍රික්ක 10කට බලපෑම් -හෙට ඉන්දියාවට ?

ෆ්‍රෙඩී සුළී කුණාටුවෙන් මලාවි රාජ්‍යයේ දකුණු කලාපයේ දිස්ත්‍රික්ක 10කට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කුණාටුවේ බලපෑම් පාලනය කිරීමට සහන සේවකයින් අරගල කරමින් සිටින අතර මලාවි හි මියගිය සංඛ්‍යාව 99 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

Blantyre නගරයේ පමණක් මරණ 85 ක් වාර්තා වී ඇති බවයි බලධාරීහු සඳහන් කරන්නේ.

තද සුළං සමග ඇති වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නිවාස විනාශ වී ඇති අතර, මාර්ග සහ පාලම් කැඩී ගොස්,විදුලි උත්පාදනයට ද බාධා එල්ල වී තිබෙනවා.

විශාල සිරුරු සංඛ්‍යාවක් රෝහලට ලැබී ඇති බවත් ,රෝහලේ ඉඩ මදි නිසා දේහයන් හඳුනාගෙන භූමදානය සඳහා රැගෙන යාමට පැමිණෙන ලෙසත් මියගිය අයගේ ඥාතීන්ගෙන් Blantyre හි රෝහල ඉල්ලා සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ගංවතුර හේතුවෙන් ජල විදුලි බලාගාරය ද විසන්ධි කර ඇති අතර විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කුණාටුව හෙට (15) මලාවි සිට ඉන්දියන් සාගරයට ආපසු පැමිණෙතැයි අපේක්ෂා කරන බව කාලගුණ විශේෂඥයෝ පවසනවා.

මලාවි රජය විසින් වැඩිම බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවල ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ආහාර සහ නවාතැන් නොමැතිව සිටින දහස් සංඛ්‍යාත ජනතාව සඳහා උපකාර කරන ලෙස ඉල්ලා තිබෙනවා.

Share This