14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය ඇරඹේ

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය ඇරඹේ

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය අද(05) පෙරවරු 9.00ට බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ආරම්භ වුණා.

ඒ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතා ඇතුළු රාජ්‍ය හා පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන්.

සමාරම්භක රැස්වීමේදී චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් අවධාරණය කළේ, දෙස් විදෙස් දුෂ්කරතා හමුවේ වුවද ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කර ගත් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධානත්වයෙන් ගෙවී ගිය වසර තුළ චීන ආර්ථිකය යහපත් ලෙස වර්ධනය වී ඇති බවයි.

2024 වසර තුළ, ආර්ථික, විද්‍යා හා තාක්ෂණ යනාදී ක්ෂේත්‍ර අඛණ්ඩව සංවර්ධනය වීමත් සමග චීන මාදිලියේ නවීකරණය නව දැවැන්ත ප්‍රගතියක් ලබා ගෙන ඇති බව ද එතුමා එහිදී පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම රාජ්‍ය කාර්ය වාර්තාවට අනුව, 2024 වසරේ චීනයේ ආර්ථික ධාරිතාව ස්ථාවර ව ව්‍යාප්ත වී ඇති බවත්, දළ දේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 134.9 දක්වා වැඩි වෙමින් වර්ධන අනුපාතය සියයට 5ක් ලෙස සටහන්ව ඇති බවත් චීන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

චීනයේ මෙම ආර්ථික වර්ධනය හරහා ගෝලීය ආර්ථික වර්ධනයට දායක වන සියයට 30ක පමණ අනුපාතය අඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකිව ඇති බවයි එතුමා පවසන්නේ.

එහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ දෙවන සහ තුන්වන පූර්ණ සැසිවාරයන් හි ප්‍රතිසංස්කරණ විධිවිධාන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින්, රටේ ආයතනික ප්‍රතිසංස්කරණ සම්පූර්ණ වී ඇති බව ද අවධාරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම, ඒකාබද්ධ ජාතික වෙළෙඳපොළක් ගොඩනැගීම, ව්‍යවස්ථාපිත විශ්‍රාම යාමේ වයස ක්‍රමයෙන් ප්‍රමාද කිරීම ඇතුළු ප්‍රධාන ප්‍රතිසංස්කරණ පියවර හඳුන්වා දීම මෙන්ම නිෂ්පාදන කර්මාන්තයේ විදේශ ආයෝජන ප්‍රවේශය සඳහා ඇති සියලු සීමාවන් ඉවත් කිරීම ද මූලික වන බවයි වාර්තා වන්නේ.

තවද එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමේ දී වෙළෙඳ ආයෝජන සහයෝගීතා වඩා පුළුල් වී ඇති අතර අඛණ්ඩව වැඩිදියුණු වෙමින් පවතින බව සඳහන්.

එමෙන්ම 2025 වසරේ දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ 5% ක වර්ධනයක් අපේක්ෂා කරන බව ද රාජ්‍ය කාර්ය වාර්තාව සඳහන් කර තිබෙනවා.

තවද, නාගරික ප්‍රදේශයේ සමීක්ෂණයට ලක් විරැකියා අනුපාතය 5.5% ක මට්ටමේ පවත්වා ගැනීම සහ නව නාගරික රැකියා අවස්ථා මිලියන 12කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බව ද එහි සඳහන්.

මෙම වසරේ පාරිභෝගික මිල දර්ශකයේ 2%ක පමණ වර්ධනයක් අපේක්ෂා කිරීම, පුරවැසියන්ගේ ආදායම ජාතික ආර්ථික වර්ධනයට සමගාමීව වැඩි වීම, චීනයේ ජාත්‍යන්තර ගෙවීම් ශේෂය මූලික වශයෙන් සමතුලිතව පවත්වා ගැනීම, ධාන්‍ය නිෂ්පාදනය ටොන් කෝටි 70ක් දක්වා ළඟා වීම මෙන්ම දළ දේශීය නිෂ්පාදිතයේ ඒකකයකට බලශක්ති පරිභෝජනය 3% කින් අඩු වීම සහ පරිසරයේ ගුණාත්මකභාවය අඛණ්ඩව වැඩිදියුණු වීම ද මෙම වසරේ  ප්‍රධාන අපේක්ෂිත සංවර්ධන ඉලක්ක අතර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රාජ්‍ය කාර්‍ය වාර්තාවට අනුව 2025 වසරේ දී වඩාත් ක්‍රියාශීලී මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් යුවාන් ට්‍රිලියන 1.3ක දිගුකාලීන විශේෂ රාජ්‍ය බැඳුම්කර නිකුත් කිරීමට ද චීනය සූදානම් වන බවයි වාර්තා වන්නේ.

නිසි හා සුදුසු මට්ටමක සැහැල්ලු මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් සංචිත මුදල් අනුපාතය හා පොලි අනුපාතය නිසි කාලීනව පහල දමමින්, නිශ්චල දේපළ වෙළඳපොල හා කොටස් වෙළඳපොල යහපත් ලෙස වර්ධනය වීම ප්‍රවර්ධනයට ද පියවර ගැනෙනු ඇති.

එමෙන්ම පැරණි පරිභෝජන භාණ්ඩවල සිට නව භාණ්ඩ වෙත විතැන් වීම වෙනුවෙන් චීන යුවාන් බිලියන 300ක දිගුකාලීන විශේෂ රාජ්‍ය බැඳුම්කර නිකුත් කිරීමට ද නියමිතයි.

විවිධ ප්‍රදේශයන්හි තත්ත්වයන්ට අනුව නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීමත් අනාගත කර්මාන්ත වෙත ආයෝජන වර්ධන ක්‍රමය ස්ථාපිත කරමින් ජෛව නිෂ්පාදන, ක්වොන්ටම් තාක්ෂණය, රොබෝ හා කෘත්‍රිම බුද්ධිය, සහ 6G ඇතුළු අනාගත කර්මාන්ත වර්ධනයට පියවර ගැනීමද මෙවර රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන්.

විවිධ ප්‍රදේශවල තත්ත්වයන්ට අනුකූලව නව ගුණාත්මක ඵලදායීතාව සංවර්ධනය කිරීමට සහ නවීන කාර්මික පද්ධතියක් ගොඩනැගීම වේගවත් කිරීමට ද මෙම වසරේ අවධානය යොමු කළ යුතු බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විද්‍යාත්මක හා කාර්මික නවෝත්පාදනවල ඒකාබද්ධ සංවර්ධනය, නව කාර්මිකකරණය, උසස් නිෂ්පාදන කර්මාන්තයේ සහ නවීන සේවා කර්මාන්තයේ සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීමත්, ඩිජිටල් ආර්ථිකයේ නවෝත්පාදන ජීව ශක්තිය උත්තේජනය කිරීම සඳහා නැගී එන කර්මාන්ත සහ අනාගත කර්මාන්ත ප්‍රවර්ධනය කළ යුතු බවත් පෙන්වා දෙමින් රටේ සාම්ප්‍රදායික කර්මාන්ත පරිවර්තනය හා වැඩිදියුණු කිරීම වැදගත් කොට සැලකිය යුතු බව ද රාජ්‍ය කාර්ය වාර්තාව පෙන්වා දී තිබෙනවා.

Share This