2024 වසරේදී කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම අනිවාර්යයි

2024 වසරේදී කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම අනිවාර්යයි

2024 ජනවාරි මාසය මෙරට සියලුම කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා වන පශු සම්පත් සංවර්ධන මාසයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය හා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග අපේ රටේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සකසා ඇති පස් අවුරුදූ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි සඳහන් වන්නේ.

මේ වනවිට අපේ රටේ සත්ත්ව ගොවිපොළවල් 290,592ක් තිබුණත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ව ඇත්තේ 58,137ක් පමණයි.

ඉන් වැඩි ප්‍රමාණයක් දිනකට කිරි ලීටර් 100ට වඩා අඩුවෙන් ලබා ගන්නා ගොවිපොළවල් වනවා.

කිරිගව ගොවිපොළ ලියාපදිංචි නොකිරීම නිසා රජය මගින් ලබා දෙන විවිධ සහන සේවා ලබාගැනීමට මෙම කිරි ගව පාලනයේ නිරතව සිටින ගොවීන්ට අපහසු වී තිබෙනවා.

එමෙන්ම සත්ත්ව නිෂ්පාදන සම්බන්ධ නිවැරදි දත්ත සකස් කිරීම සඳහා මෙම ගොවිපොළවල් ලියාපදිංචි කිරීම අනිවාර්ය වන බවයි සඳහන් වන්නේ.

මේ නිසා 2024 ජනවාරි මාසය පුරාම සත්ව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා පශු සම්පත් සංවර්ධන මාසය ලෙස නම් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

දැනට අපේ රටේ කිරිගව ගොවිපොළවල් කාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය කර තිබෙනවා.

ඒ අනුව යැපුම් මට්ටමේ කිරිගව ගොවිපොළවල්, සතුන් 100 දක්වා සිටින ගොවිපොළ සහ මහා පරිමාණ කිරි ගව ගොවිපොළවල් ලෙස සතුන් 1000ට වැඩි ලෙසයි වර්ග කර ඇත්තේ.

මේ යටතේ ගවයින් දෙන්නෙක් හෝ ඊට වැඩි සියලුම ගොවිපළවල් ලියාපදිංචි කිරීම සිදු කෙරෙන අතර ඒ සඳහා කිසිදු මුදලක් අය නොකරන බව සඳහන්.

Share This