2025 අයවැය විවාදය ගැන ගත්ත තීරණ

2025 අයවැය විවාදය ගැන ගත්ත තීරණ

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) 2025 පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සහා රැස්වීම තීරණය කර තිබෙනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) පාර්ලිමේන්තුවේදී පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සහා රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025 ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරණය වී තිබෙනවා.

ඒ අනුව 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම (අයවැය කථාව) පෙබරවාරි 17 වැනිදා සිදුකිරීමට නියමිත අතර දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

අනතුරුව පෙබරවාරි 25 ප.ව 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව 6.00ට පැවැත්වීමට ද තීරණය වී ඇති බව සඳහන්.

Share This