2026 සිට පාසල් යන ළමුන්ට නව හැඳුනුම්පතක්

2026 සිට පාසල් යන ළමුන්ට නව හැඳුනුම්පතක්

පාසල් පද්ධතියට ඇතුළත් වන සෑම සිසුවෙකු සඳහා ම අනන්‍ය වූ දත්ත ගොනුවක් සකස් කිරීම සහ අද්විතීය හැඳුනුම්පතක් හඳුන්වාදීමට උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

එය 2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අධ්‍යාපන පරිවර්තනය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යයන, අනධ්‍යන සේවකයින්, දරුවන් සහ පාසල් ඇතුළු සමස්ත තොරතුරු ඇතුළත් ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන්නේ.

උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මේ බව තීරණය කර තිබෙනවා.

ඒ අනුව උප්පැන්න සහතිකය, විභාග ප්‍රතිඵල, කුසලතා, නිපුණතා ඇතුළු දරුවන්ගේ සියලු දත්ත මෙම පද්ධතියට ඇතුළත් කිරීමටයි එහිදී යෝජනා වී ඇත්තේ.

2026 වර්ෂයේ දී සිදුකරන අධ්‍යාපන පරිවර්තනයට සමගාමීව දරුවන් පාසලට ඇතුළත් කර ගැනීමේ කටයුතු පහසු කර ගැනීම, ගුරු සහ විදුහල්පති පුරප්පාඩු හදුනාගැනීම, පත්වීම් ලබාදීම සහ උසස් කිරීම ඇතුලු කාර්යන් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා මෙම දත්ත පද්ධතිය උපකාරි වනු ඇති බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කළේ.

එමෙන්ම ස්ථානමාරු සිදු කිරීම, අඛණ්ඩ ඇගයීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම, පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය ඇතුළු පාසල් පද්ධතියේ සියලු කාර්යයන් ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා ද මෙය වැදගත් වන බව අග්‍රාමාත්‍යවරිය එහිදී පෙන්වා දුන්නා.

ලබන වසරේ සිට පළමු වසරට සහ හයවන වසරට ඇතුළත් වන දරුවන් මූලික කර ගනිමින් මෙම දත්ත පද්ධතිය ආරම්භ කිරීමට ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතිය සකස් කිරීම සඳහා අවශ්‍ය සහය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තොරතුරු තාක්ෂණ අංශය මගින් ලබාදෙන බවද සඳහන්.

Share This