2028 දී ණය ගෙවන හැටි ජනපති කියයි

2028 දී ණය ගෙවන හැටි ජනපති කියයි

වසර 2028 වන විට රට විසින් ගෙවිය යුතු විදේශ ණය ස්වශක්තියෙන් ගෙවීමට හැකි වන ආර්ථික වර්ධනයක් සහ ස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ආර්ථික බිඳ වැටීමක් තුළ රාජ්‍යයක ස්වාධිපත්‍ය හා ස්වෛරිත්වය රඳා නොපවතින බවයි.

අවසන් ප්‍රතිඵලය විය යුත්තේ ජාතියක් ලෙස ස්වාධිපත්‍යය සහ ස්වෛරීභාවය අත්පත් කර ගැනීම බව අනුර කුමාර දිසානායක මහතා සදහන් කළා.

ඒ වෙනුවෙන් ඉතා වෙහෙසකර සහ අත්නොහරින ව්‍යායාමයක තමා ප්‍රමුඛ රජය නිරතව සිටින අතර රාජ්‍ය නිලධාරින් සහ පුරවැසියන් ලෙස සියලුදෙනාගේ සහායද ඊට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ ” ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනය ණය සහ පාලනය” (Sri Lanka’s Road to Recovery: Debt and Governance) මැයෙන් අද (16) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදු කරමින්.

ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ අත්දැකීම්ල උගත් පාඩම් සහ ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ප්‍රගතිය සහ ඉදිරි අභියෝග සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත් වුණා.

රට තුළ මතුපිට තලයේ ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය වි පැවතියද, එම තත්ත්වය ශක්තිමත් ලෙස ස්ථාවර කර ගනිමින් ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට නව ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අත්‍යාවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ද මෙම අවස්ථාවට එකව සිටියා.

Share This