2024 නොවැම්බර් මස සිට 2025 මාර්තු මාසය දක්වා වූ මාස 4ක කාලසීමාව තුළ දුම්රිය ගමන්වාර 1944ක් වලංගු වී ඇති බව ඒකාබද්ධ දුම්රිය සේවක සංගමය පවසනවා.

දුම්රිය සේවයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැඳවා තිබු මධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළා.

උසස්වීම් ඇතුළු දුම්රිය සේවයේ පවතින ගැටළු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ ඒකාබද්ධ දුම්රිය සේවක සංගමය කැඳවා තිබුණා.

එහිදී ඒකාබද්ධ දුම්රිය සේවක සංගමයේ සභාපති ධම්මික මුණසිංහ මහතා පැවසුවේ 2025 වසරේ අය වැයෙන් ප්‍රවාහනයට වෙන් කළ රුපියල් බලියන 473 ක මුදලින් දුම්රිය දෙපාර්තමේන්තුවට වෙන් කර ඇති මුදල ප්‍රමාණවත් නොවන බවයි.

දුම්රිය රියදුරුවරුන් 200 ක පමණ හිගයක් ඇති බවත්, දුම්රිය නියාමකවරුන් 240 ක් පමණ ද දුම්රිය ස්ථානාධිපතිවරුන් 250 ක් පමණ හිගයක් ඇති බවත් ඒකාබද්ධ දුම්රිය සේවක සංගමය පෙන්වා දෙනවා.

ඔවුන් පවසන්නේ මෙම ගැටලු සදහා කඩිනම් විසදුම් අවශ්‍ය බවටයි.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය 1, කොටස සඳහා අත්කර ගන්නා ලද ඉඩම් වල නිවාස අහිමි වු, මීරිගම හා අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ වලට අයත් ඉඩම් ලාභින්ට හිමිකම් ඔප්පු ප්‍රදානය මඟ නැගුම මහගෙදර පරිශ්‍රයේදී ඊයේ සිදු කෙරුණා.

ඒ ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර දින තුනක දීර්ඝ සති අන්තය මෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාල නිවාඩු ලබාදීම හේතුවෙන් ගම්බිම් බලායාම සඳහා විශාල මගී ජනතාවක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ඊයේ පස්වරුවේ පැමිණ සිටියා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ ඊයේ සවස 4.30 සිට 7.30 දක්වා කාලය ඇතුළත මගීන් 12,000 කට වැඩි ප්‍රමාණයක් මාකුඹුරට පැමිණ තම ගමනාගමන අවශ්‍යතා ඉටුකරගෙන ඇති බවයි.

මෙලෙස පැමිණි මගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් ගාල්ල, මාතර හා හම්බන්තොට ප්‍රදේශ සඳහා පිටව ගොස් තිබුණා.

කෙසේ වෙතත් එකවරම විශාල ප්‍රමාණයක් මෙලෙස මාකුඹුරට පැමිණීම හේතුවෙන් මගීන්ට පැයකට වැඩි කාලයක් මධ්‍යස්ථානය තුළ රැඳී සිටීමට සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් එක් බස් රථයක් පිටත්වනවාත් සමග අනෙක් බස්රථය බස් රථ ගාලට යොමු කිරීමට කටයුතු කර තිබූ බවද ශෙරීන් අතුකෝරල මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

රට තුළ සිදුවන අපරාධ මර්ධනය කිරීම දිනෙන් දින ඉහළ යන රිය අනතුරු වැළැක්වීම සහ මගීන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළට සමගාමීව කළුතර දකුණ පොලිසිය සහ කළුතර උතුර පොලිසිය විසින් අද උදෑසන කළුතර නගරය පසුකර යන සියලුම බස් රථ සහ තෝරා ගත් යතුරුපැදි මෙන්ම වාහන පරීක්ෂා කිරීමක් සිදුකළා.

ඒ පොලිස් නිලධාරීන් හැටකට ආසන්න ප්‍රමාණයක්ගේ සහභාගිත්වයෙන්.

එහිදී බස් රථ රියදුරන් මත්පැන් පානය හෝ මත්ද්‍රව්‍ය පානය කර තිබේද යන්න පිළිබඳව සහ මගීන්ගේ ගමන්මලු පරීක්ෂා කිරීම ද පොලිස් නිලධාරීන් විසින් සිදුකරණු ලැබුවා.

 

 

Share This