
35 වසරක ජාතික පුස්තකාල සේවාවේ ගමන් මග
ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ 35 වන සංවත්සර සැමරුම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම සාංවත්සරික සැමරුමේ මුඛ්‍ය දේශනය රුහුණු විශ්වවිද්‍යාලයේ, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි මහතා විසින් සිදුකරන ලදි.
මෙයට සමගාමීව ’35 වසරක ජාතික පුස්තකාල සේවාවේ ගමන් මග’ මැයෙන් සම්මන්ත්‍රණයක් ද සංවිධාන කර තිබූ අතර ඊට අදාළ දේශන සිදුකරන ලද්දේ ප්‍රවීණ ලේඛක ආචාර්ය ඩබ්ලිව්. ඒ අබේසිංහ, සම්මානිත මහාචාර්ය කේ.ඒ.පී සිද්ධිසේන, කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ඩබ්ලිව්. ඒ වීරසූරිය හා කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයාධිපති ආචාර්ය ප්‍රදීපා විජේතුංග යන මහත්ම මහත්මීන් විසිනි.
මේ සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.
වර්ෂ 1990 දී ස්ථාපිත කරන ලද ජාතික පුස්තකාලය මෙරට ප්‍රධානතම පුස්තකාලය වන අතර ප්‍රමුඛතම විමර්ශන හා පර්යේෂණ පුස්තකාලය වන්නේ ද මෙයයි.
ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත හා අප්‍රකාශිත තොරතුරු ඒකරාශී කිරීමටත් ජාතියට අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීමත් එමගින් ලැබෙන්නේ මනා පිටිවහලකි.
තවද ශ්‍රී ලංකාවේ ජාතික ග්‍රන්ථ නාමාවලිය සම්පාදනය ඇතුළු ලෝකයේ වෙනත් රටවල ජාතික පුස්තකාල විසින් ලබාදෙන සේවාවන්ට සමගාමී කටයුතු රාශියක් ඉටු කිරීමත් සිදුවන්නේ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය මගිනි.