අදින් හර්තාල් නවතියිද -විසඳුම් නැත්නම් දිගටම හර්තාල්ද ?

අදින් හර්තාල් නවතියිද -විසඳුම් නැත්නම් දිගටම හර්තාල්ද ?

ජන පීඩක ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බලකරමින් ක්‍රියාත්මක කෙරෙන දීපව්‍යාප්ත දැවැන්ත එක් දින වැඩ වර්ජනය සහ හර්තාල් ව්‍යාපාරය වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන දෙදහසකට වැඩි ප්‍රමාණයක සහභාගිත්වයෙන් අද (06දා) ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය හා මිල ඉහළ යෑම, ඉන්ධන, ගෑස්, සෞඛ්‍ය, ගමනාගමනය ඇතුළු ජනතාවගේ දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ල කර ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් රජයට නිසි විසඳුම් නොමැතිවීම හේතුකොට ගනිමින් 1953 වසරින් පසු රජයකට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන දැවැන්තම විරෝධතා ව්‍යාපාරය මෙය බවයි පැවසෙන්නේ

රාජ්‍ය අංශයේ ලක්‍ෂ 14කට අධික සේවකයන් මෙම එක් දින වැඩ වර්ජනයට සහ හර්තාල් ව්‍යාපාරයට එක්ව තිබෙනවා

අර්ධ රාජ්‍ය ආයතන, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය, බැංකු සහ ඇඟලුම් ක්‍ෂේත්‍රයේ නිරත පිරිස් ද, සෞඛ්‍ය, ප්‍රවාහන, දුම්රිය, විදුලිය, අධ්‍යාපන ඇතුළු ප්‍රධාන ක්‍ෂේත්‍රවල වෘත්තීය සමිති ද මිට අයත් වනවා .

මෙම එක් දින වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට රජය සාධනීය පිළිතුරු ලබා නොදෙන්නේ නම් ලබන 11දා සිට අඛණ්ඩ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් ඒ සඳහා ලක්‍ෂයකට අධික ජනතාවක් කොළඹට කැඳවන බවත් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කරනවා

අද(06) ක්‍රියාත්මක කෙරෙන හර්තාල් ව්‍යාපාරයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද සහාය පළ කර ඇති අතර විශේෂඥ වෛද්‍යවරයකු හමුවීම සඳහා පෞද්ගලික ආයතනවල වේලාවන් වෙන්කර නොගන්නා ලෙස එම සංගමය ජනතාවගෙන් ඉල්ලීමක්ද කරනවා

විශේෂඥ වෛද්‍යවරුන් මෙම හර්තාල් ව්‍යාපාරයට සහාය දැක්වුව ද රජයේ රෝහල් තුළදී සාමාන්‍ය පරිදි කටයුතු කිරීමටත් සියලුම හදිසි ප්‍රතිකාරවලට සහභාගි වීමටත් තීරණය කර තිබෙනවා

අනෙකුත් සෞඛ්‍ය සේවකයන් ද දිවා ආහාර වේලාවේදී හර්තාල් ව්‍යාපාරයට සහාය ලබා දෙන අතර පෞද්ගලික රෝහල්වල හදිසි කටයුතු සඳහා සහභාගි වන අතර වෛද්‍යසේවය සපයා දීම සිදුනොකරන බවද දැනුම් දෙනු ලබනවා.

එමෙන්ම රෝහල්වල අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක සේවා පමණක් සිදු කරන බවත් අත්‍යවශ්‍ය නොවන සාමාන්‍ය සත්කාර සේවා සඳහා අද (06) රෝහල් කරා නොපැමිණෙන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා

එමෙන්ම සියලු ආගමික ස්ථානවල අද(06) උදෑසන 8.30 සිට 9.00 දක්වා ශබ්ද පූජා පවත්වන ලෙසත් අදාළ කාලය තුළ මාර්ගවල ගමන් ගන්නා රථවාහනවල නළා හඬ අඛණ්ඩව නාද කරන ලෙසත් නිවාස තුළ කළු කොඩි ද ඔසවා හැකි සෑම පුද්ගලයකුම කළු ඇඳුමින් සැරසෙන ලෙසයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මකව පවතින අද (06) දිනය තුළදී මහජන දේපළවලට හානි කිරීම, ප්‍රචණ්ඩ හැසිරීම් සිදු කිරීමෙන් වළකින ලෙස ද එම සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Share This