සුවසැරියට ජූලි 28 වැනිදාට වසර හයයි

සුවසැරියට ජූලි 28 වැනිදාට වසර හයයි

විවිධ බාධක මැදින් ආරම්භ කළ 1990 සුවසැරිය ගිලන් රථ සේවය මෙම වසරේ ජූලි 28 වැනිදා ජයග‍්‍රාහී හයවන සංවත්සරය සැමරීමට නියමිතය.

2016 ජූලි 29 වනදා ඉන්දීය රජයේ ආධාරයක් ලෙස බස්නාහිර සහ දකුණු පළාත්වලින් ආරම්භ වූ 1990 සුවසැරිය සේවාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය අතිමහත් වන අතර ඉන්දීය රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 23 ක නැවත නොගෙවන ප්‍රදානයක් ලෙස ලබාදුන් මෙම සේවය සේවයක්.

සුවසැරිය ඉන්දියාවේ ලාභ නොලබන වෘත්තීය සංවිධානයක් වන GVK EMRI රාජ්‍ය හවුල් වැඩසටහනක් ලෙස ස්ථාපිත කර තිබෙනවා. එවකට නියෝජ්‍ය ඇමැතිවරයකුව සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම ක්‍රියාවලියේ කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා සම්බන්ධ වෙමින් GVK EMRI Lanka සමාගම පිහිටුවීමත් සමඟ මෙරට තුළ මෙම සේවාව ආරම්භ වුණා. පළමු වසර තුළ සුවසැරිය පාලිත මධ්‍යස්ථානයට හදිසි ඇමතුම් 322,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇති අතර රෝගීන් 32,000කට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් සේවය ලබාදී තිබෙනවා. ඉන් ප්‍රධාන වශයෙන් හෘද රෝග, කම්පන සහ ආඝාත තත්ත්වයන් පවතින රෝගීන් වෙනුවෙන් ලබාදී ඇති ප්‍රතිකාර බහුල බව නිල දත්ත අනාවරණය කරනවා.

කෙසේවෙතත් මෙම සේවය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු කණ්ඩායම් රාශියක් මෙම සේවය ‘බිල්ලෙක්’ බව කියාපාමින් එය නවත්වන්නට උත්සාහ කරනු ලැබුවා. සුවසැරිය වෙනුවෙන් ලැබෙන්නේ තත්වයෙන් බාල ගිලන්රථ බවත්, ඒවායේ ඒවා තුලදී රෝගීන් මියයා හැකි බවත්, රෝගීන්ගේ වකුගඩු පවා අතුරුදන් විය හැකි බවත් මෙම පාර්ශ්වයන් බොහෝ තැන්වල කියා තිබුණා. නමුත් එය සත්‍යයක් නොවූ අතර, මේ වන විටත් දිනකට ඇමතුම් 5,000කට වැඩි සංඛ්‍යාවක් ලැබෙන තත්ත්වයට මෙම ගිලන් රථ සේවය දියුණුවට පත්ව තිබෙනවා.

සුවසැරිය ගිලන් රථ සේවයේ වඩාත් විශිෂ්ටතම සේවා කාලය ලෙස හඳුන්වා දිය හැක්කේ ශ්‍රී ලංකාවේ ඇතිවූ බරපතළ කොවිඩ් ව්‍යසන කාලයයි. එම කාල සීමාවේදී කොවිඩ් රෝගීන් අතිවිශාල සංඛ්‍යාවක් රෝහල්ගත කරන්නට ඔවුන්ට හැකියාව ලැබුණු බවට වාර්තා පවතිනවා. ඒත් සමගම එම රෝගීන් සඳහා වෙන කිසිම ක්‍රමවේදයක් නොමැතිව රෝගීන් මියයා හැකිව තිබුණු අවස්ථාවලදී මේ ගිලන් රථ සේවය සිදුකළේ කිසිසේත්ම පවසා අවසන් කළ නොහැකි සේවයක්.

මේ වන විට , 1,394ක් වූ කාර්යමණ්ඩලයකුත්, ගිලන් රථ 297කුත් මෙම සුවසැරිය ක්‍රියාන්විතයට එක්ව සිටිනවා. එසේම නව ගිලන් රථ 112ක් සුවසැරිය ගිලන් රථ සේවයට හඳුන්වා දීමටද කටයුතු සූදානම් වෙමින් පවතිනවා. ආරම්භයේදී සුවසැරිය ඔස්සේ හදිසි සේවා සැපයුණේ හදිසි අනතුරුවලට ලක්වුණු සහ විශේෂයෙන් හදවත් රෝග ඇතුළු අනපේක්ෂිත රෝගී තත්වයන් වෙනුවෙනි.

එහෙත් මේ වන විට එය මානසික රෝගී තත්වයන්ට ලක්ව සිටින පුද්ගලයන්ව රෝහල්ගත කිරීමේ කටයුතුවලටද දායක වෙනවා. වඩාත් නිවැරදි ප්‍රතිකාර කඩිනමින් රෝගියාට ලබාදීමට හැකිවීමත්, රෝගියාගේ ඥාතීන්ට හෝ භාරකරුවන්ට විශාල පහසුවක් සැලසීමත් මෙම නව ක්‍රමයෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා. මේ වෙනුවෙන් සුවසැරිය කාර්ය මණ්ඩලවලට විශේෂ පුහුණුවක්ද ලබාදී තිබෙනවා.

කෙසේවෙතත් රටේ උද්ගතව ඇති උග්‍ර ආර්ථික අර්බුදයට සමගාමීව, ඉන්දීය රජයෙන් ලැබුණු මහඟු සම්පතක් වන සුවසැරිය සේවයට මෑත කාලීනව දැඩි බලපෑම් එල්ල වු අතර විශේෂයෙන්ම සුවසැරිය ගිලන් රථ සේවයේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ මහා භාණ්ඩාගාරයෙන් ලබාදුන් රුපියල් මිලියන 80ක ප්‍රතිපාදනය රුපියල් මිලියන 30 දක්වා අඩු කිරීම බව හෙළි වී තිබෙනවා.

අරමුදල් හිඟවීම නිසා සුවසැරිය ගිලන් රථ සේවය නතර වීමේ අවදානමක් පවතින බව ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගියදා පාර්ලිමේන්තුවේදී ද හෙළි කරනු ලැබුවා. මේ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී එවක සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, මේ සම්බන්ධව එවකට මුදල් අමාත්‍ය අලි සබ්‍රි සමඟ සාකච්ඡා කළ බවයි.

ප්‍රමාණවත් පරිදි මුදල් ප්‍රතිපාදන ලබාදීමට එහිදී එකඟ වූ බවද හෙතෙම සඳහන් කරනු ලැබුවා. සුවසැරිය සතුව රුපියල් මිලියන 600ක අරමුදලක් ඇති බවත් එසේ වුවද එම අරමුදල තිබියදීම අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට රජය තීරණය කර ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියා.

මේ සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී හෙළිකරන ලද්දේ මේ ආකාරයෙන්.
“මම ඉතාමත් ම වගකීමෙන් කියන්නේ ගරු අගමැතිතුමා සුවසැරිය දුවන්න සල්ලි නෑ. මට සභාපතිතුමා කිව්වා, අපි මොක ද හර්ෂ කරන්නේ? අද දවස වෙනකොට මිනිස්සු දහසකට වඩා එක දවසකට දැඩි සත්කාර ඒකකයට ගේනවා. මේ ලංකාවේ හැම තැන ම මිනිස්සු 1990 කෝල් කළාම මැරෙන්නේ නැතුව ජීවිතය බේර ගන්න තැනක ඉන්නවා. ඒකට සල්ලි ටික දෙන්න ගරු අගමැතිතුමා. ඒවා තමයි හදිසි අවශ්‍යතා කියන්නේ. ඒකට සල්ලි නැතුව දුවාගන්න විධියක් නැතුව හෙට වහයි ද දන්නේ නැහැ.”

කෙසේවෙතත් මෙම අර්බුදය විසඳාදීමට දැන් නැවතත් ඉන්දියාව ඉදිරිපත්ව සිටිනවා. ඉන්දියාව මේ වන විටත් ශ්‍රී ලංකාවේ ඖෂධ ඇතුළු අත්‍යවශය ද්‍රව්‍ය තොගයක්ම ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ සංවිධාන සහ රෝහල් විසින් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව විසින් මෙම වෛද්‍ය සැපයුම් තොගය පරිත්‍යාග කර තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් 2022 මාර්තු මාසයේදී කරන ලද ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී සුවසැරිය පදනමේ නියෝජිතයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් මෙරට වෛද්‍ය ‍ ක්ෂේත්‍රයේ පවතින අවශ්‍යතාවයන් පෙන්වා දෙනු ලැබුවා.

දැන් ඉන්දියාව විසින් පරිත්‍යාග කරන ලද මෙම වෛද්‍ය සැපයුම් තොගයෙන් එම අවශ්‍යතාවලින් කොටසක් සපුරාලනු ඇති. මෙයට අමතරව, හම්බන්තොට මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ යාපනය ශික්ෂණ රෝහල වෙත ද මෙම වෛද්‍ය ආධාර තොගය ලබාදීමට නියමිතය.

ඒ අනුවම, යමින් විශේෂ ඉල්ලීමකට අනුව ඉන්දීය රජය සුවැසැරිය වෙනුවෙන්ද ඖෂධ තොගයක් ලබාදීමට නියමිතයි.මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඉදිරි මාසයකට අදාළ ජීවිතාරක්ෂක, අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මෙලෙස ඉන්දීය රජය විසින් ලබාදීමට නියමිත බවයි.එම ඖෂධ තොගය ලබන සිකුරාදා නිල වශයෙන් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට භාරදීමට සැලසුම් කර තිබෙනවා.

මෙහිදී පැවසිය යුතු වැදගත්ම කාරණය වන්නේ 1990 සුවසැරිය කුමන තත්වයක් යටතේවුව රැකගත යුතුව ඇති බවය.ඒ අදට නොව හෙට වෙනුවෙනි. ඊළඟ පරම්පරාව වෙනුවෙනි.

Share This