ආධාර සහ අරමුදල් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙල
ලබන මස 02 වැනි දින රුපියල් මිලියන 90,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
රජයේ සුරැකුම්පත් පිළිබඳ කැඳවන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර තිබුණේ.
මෙලෙසින් රජය සිය කටයුතු සඳහා මුදල් සොයා ගැනීම සඳහා විවිද ක්‍රම අනුගමනය කරමින් සිටින අතර මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පසුගිය දා ජනමාධ්‍ය විසින් අනාවරණය කරන ලද්දේ, වැඩි වශයෙන් ආධාර සහ අරමුදල් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වලින් පහතදමා ගැනීම ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝක බැංකුව සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බවයි.
සියඹලාපිටිය ඇමතිවරයා මේ සම්බන්ධයෙන් පැවසුවේ, රටේ ශ්‍රේණිගතකිරීම පහත හෙළීමක් සලකා බලන ලෙස ලෝක බැංකුව රජයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්,රටට ආධාර සහ අඩු පොලී ණය ලබාගැනීමේ දී මෙලෙස වර්ගීකරණයේ වෙනසක් සිදුකිරීම වැදගත් බවත්ය.
ඉන් අනතුරුව, පසුගිය ඔක්තෝබර් 10වැනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඊට අදාළ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබුණු අතර ඊට අනුමැතිය ලැබී තිබුණා/
මේ සිදුකරන්නට යන්නේ කුමක්දැයි පැහැදිලි කරගත යුත්තේ රට අද වන විට පවතින තත්වයද තේරුම් ගනිමිනි. අද වනවිට රට පවතින්නේ ආර්ථිකමය වශයෙන් ඉතාම නරක ස්ථානයකය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 මාර්තු 07 වැනිදා රුපියල පාකිරීමට තීරණය කරන විට ඩොලරයේ අගය පැවතියේ 200ක අගයේයි.
දැන් එය මාස 07කට පසුව 360 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව වෙළඳපොලේ සියලුම භාණ්ඩ හා සේවාවන්වල මිල දෙතුන් ගුණයකින් ඉහලගොස් තිබෙනවා.
රජයේ සංඛ්‍යාලේඛන වලට අනුව සමස්ත උද්ධමනය 65%ක් වන විට ආහාර උද්ධනමය 95%කට ආසන්නවී ඇති අතර එහි අදහස 100%කින් ආහාර මිල ඉහළ ගොස් ඇති බවයි.
රුපියල මේ ආකාරයෙන් බාල්දුවීමේ අනෙක් අදහස වන්නේ ජනතාවගේ වත්කම අවම තරමින් 50%කින් පහත වැටී ඇති බව ලෙසයි ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරන්නේ.
වෙළඳපොලේ රැකියා අහිමිවීමේ වේගය විශාල ලෙස ඉහල ගොස් ඇති අතර දරුවන්ගේ අධ්‍යාපනය ද කඩාකප්පල් වී ඇති බව පැහැදිලි වන කාලයකි මේ.
රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ බොහොමයක් අවසන් බවට ප්‍රකාශ නිකුත්ව ඇති අතර රටේ මන්දපෝෂණය 02%කින් ඉහලගොස් ඇති බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දී තිබෙනවා.
ලෝක බැංකුව විසින් ඒ ඒ රටවල ජනතාවගේ ආදායම අනුව, එම රටවල් වර්ගීකරණය කරනු ලබන අතර ලෝක බැංකුව සතුව අන්තර්ජාතික ප්‍රතිසංස්කරණ හා සංවර්ධන බැංකුව (IBRD) සහ අන්තර්ජාතික සංවර්ධන සංගමය (IDA) ආදී වශයෙන් හස්තයන්(Arms) කිහිපයක් පවතිනවා
ඒ අතරින් IDA යනු අඩු ආදායම්ලාභී රටවලට සහන ලබදෙන්නකි.
එයද IDA Only,IDA GAP සහ IDA Blend යනුවෙන් කොටස් කිහිපයකට බෙදේ. IDA Only යනු ඩොලර් 1225ට අඩු ඒකපුද්ගල ආදායමක් සහිත රටවල්ය. ඒවාට ලෝක බැංකුවෙන් හෝ වෙනත් මුල්‍ය ආයතනවලින් හෝ බාහිර වෙළඳපොලෙන් ණය ලබාගැනීමට හැකි ශ්‍රේණිගත කිරීමක් නැත.
IDA GAP වර්ගීකරණයට හසුවන්නේ ඒකපුද්ගල ආදායම ඩොලර් 1255ට වඩා වැඩි, නමුත් ලෝක බැංකුවෙන් හෝ මුල්‍ය වෙළඳපොලෙන් ණය ලබාගත නොහැකි රටවල්ය.
දැනට ශ්‍රී ලංකාව පසුවන්නේ මින් IDA GAP කලාපයේයි.
ශ්‍රී ලංකාව ඩොලර් 1255ට වඩා වැඩි ආදායමක් සහිත නමුත්,ශ්‍රේණිගත කිරීම්වල සිටින්නේ ඉතාම පහල ස්ථානයකය. ඒ නිසා මේ මොහොතේ මෙරටට ලෝක බැංකුවෙන් හෝ මුල්‍ය වෙළඳපොලෙන් ණය ලබාගැනීමට හැකියාවක් නොමැත.
ඉන්දියාව තවදුරටත් ලංකාවට ණය ලබාදීමට සුදානම් නැති බව සඳහන් කර ඇති අතර කෙටි කාලයක් තුළ මෙරටට ලබාදුන් වැඩිම මුදල සනිටුහන් කරමින්, ඉන්දියාව මෙම වසරේ පළමු මාස 05 ඇතුලත ඩොලර් බිලියන 04කට ආසන්න ණය සහන ලබාදී තිබුණා.
හම්බන්තොට වරායට පැමිණි චීන නෞකාව පිලිබඳ සිදුවීම ඇතුළු කාරණා කිහිපයකදී දෙපාර්ශ්වය අතර හොඳහිත යම් පමණකට පලුදුවුණු බවක් දැකගත හැකි වුවද ඉන්දියාව අත්‍යවශ්‍යම මොහොතේ උපකාර කරනු ලැබුවා.
ලෝක බැංකුවෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් ණය ලබාගැනීමට නම්, දැනට ණය ලබාදී ඇති ණයහිමියන් වෙති සහතිකයක් ලබාගත යුතු බව(ණය ප්‍රතිව්‍යුහගතකරණය කරවාගත යුතු බව) අන්තර්ජාතික මුල්‍ය අරමුදල(IMF) ලංකාවට අවධාරණය කර ඇත්තේ මෙවන් පසුබිමකයි.
ඒ අනුව පළමු පියවරේදී ප්‍රතිව්‍යුහගතකරණය කරවාගත යුතු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 14කට අධිකය.
විශේෂත්වය වන්නේ, එම ණය ප්‍රමාණයෙන් 52%ක්ම අයත්වන්නේ චීනයට වීමයි. ඉතිරි 48%ක ණය කොටසක් හිමි ඉන්දියාව සහ ජපානය මෙන්ම පැරිස් සමාජයේ රටවල් සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට කැමැත්ත දක්වා ඇති නමුත්, 52%ක විශාලතම කොටස හිමි චීනය අවසන් තීරණයකට එළඹ තිබුණේ නැහැ.
චීනය එකඟතාව පලකරනතුරු ශ්‍රී ලංකාවට IMF ණය සහනය ලබාගැනීම අසීරු විය හැකි අතර චීනය මෙවැනි ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් මෑතකදී සම්බියාවට ලබා දී තිබුණා.