ආරක්ෂකයින් සිටියදී සඳගල පාෂාණය සොරකම් කරයි – (VIDEO)

ආරක්ෂකයින් සිටියදී සඳගල පාෂාණය සොරකම් කරයි – (VIDEO)

කුණ්ඩසාලේ උඩමලුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල නමින් ප්‍රකට පුරා විද්‍යා ස්මාරකය නිදන් හොරුන් විසින් සොරකම් කර ඇති බව ගම්වාසීන් පවසනවා.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිරන්තර අවධානයේ පැවති මෙම පුරාවිද්‍යා රක්ෂිතයේ පිහිටි සඳගල නම් වූ කිලෝ ග්‍රෑම් දහසකට අධික බරකින් යුත් පුරා විද්‍යා ස්මාරකයයි ඊයේ (14) අලුයම් කාලයේදීයි මෙලෙස සොරකම් කර ඇත්තේ.

එම පාෂාණය ක්‍රිස්තු වර්ෂ 1707 සිට 1739 දක්වා මහනුවර කුණ්ඩසාලේ රාජධානිය කොටගෙන මෙරට රජ කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ රජ මාලිගය පිහිටියේ යැයි පැවසෙන කුණඩසාල් උඩමලුව පුරා විද්‍යා රක්ෂිත භූමිය තුළ පැවතියා.

දුර්ලභ ගනයේ රවුම් හැඩැති පෞරාණික වස්තුවක් ලෙසින් සැලකෙන සොරකම් කරන ලද පාෂාණයේ කැටයම් හා කටාරම් කොටා තිබූ බව සඳහන්.

ඊයේ (14) අලුයම් කාලයේ මෙම ස්ථානයේ තිබූ පුරා විද්‍යා ස්මාරකය ගලවා බර වාහනයක පටවාගෙන රැගෙන ගොස් ඇති බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සැක කරන අතර ඒ වන විටත් රක්ෂිතයේ ආරක්ෂාව භාරව ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ද යොදවා තිබුණා.

නිදන් හොරුන් විසින් මින් පෙරද මෙම පුරා විද්‍යා භූමිය තුළ නිදන් හාරා තිබූ පසුබිමක සඳගල පාෂාණය සොරකම් කිරීම පිළිබඳව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පල්ලෙකැලේ පොලිසියට පැමිණිලි කර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

Share This