නත්තලේ සැබෑ අරුත ගැන කාදිනල් රංජිත් හිමිගෙන් පැහැදිලි කිරීමක් (VIDEO)

නත්තලේ සැබෑ අරුත ගැන කාදිනල් රංජිත් හිමිගෙන් පැහැදිලි කිරීමක් (VIDEO)

මෙවර නත්තල දිළිඳු ජනයා සමඟ සැමරිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපණන් නත්තල් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ බාහිර ආටෝපවලට වහල් නොවී නත්තලේ සැබෑ අරුත වටහා ගනිමින් නත්තල සැමරීම වැදගත් බවයි.

මේ අතර, උදා වූ නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සුබපැතුම් පණිවුඩයක් නිකුත් කළා.

එමඟින් ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ ලාංකේය වත්මන් සමාජය හා ආර්ථික අර්බුද හමුවේ විමුක්ති දායක කිතු උපතේ යථාර්ථය සමීප වෙමින් මනුෂ්‍ය වර්ගයා එකිනෙකා කෙරහි දයානුකම්පාවෙන් හා ප්‍රේමයෙන් ජීවත්වීම සහ සමාජය තුළ පීඩිතව දිවි ගෙවන සහෝදර ජනතාවට පිහිටවීම යේසුස් ක්‍රිස්තුන් වහන්සේට දැක්විය හැකි උපහාරය බවයි.

මීට අමතරව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ද නත්තල් දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් පැවසුවේ වෛරය හා කෲරත්වය පිටු දකිමින් ගැටුම් සමනය වන ආර්ථිකමය වශයෙන් සහ බවභෝගයෙන් සමෘද්ධිමත් වූ ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මෙම නත්තල තවත් ආරම්භයක් කර ගත හැකි බවයි.

එසේම විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද නත්තල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩද එක් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ක්‍රිස්තූන් වහන්සේගේ ධර්මය නම් ප්‍රේමයයි එම නිසා නත්තල යනු සාමයේ සමය ලෙස හැඳින්විය හැකි බවයි.

Share This