ඉන්දීය රුපියල ගැන ශ්‍රී ලංකාවට ඇති බලාපොරොත්තුව

ඉන්දීය රුපියල ගැන ශ්‍රී ලංකාවට ඇති බලාපොරොත්තුව

පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට මේ මොහොතේ පුනර්ජීවනය ලැබීමට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ (IMF) ණය පහසුකම ලබා ගැනීමයි. IMF ණය අනුමත වීමත් සමග අන්තර්ජාතික පාර්ශ්වකරුවන් විසින් ශ්‍රී ලංකාවට තවදුරටත් ණය පහසුකම් ලබාදීමට ඉදිරිපත් වනු ඇති බවටයි රජය විශ්වාසය පළ කර ඇත්තේ. ඒ අනුව දේශීය ආර්ථිකය පුනර්ජීවනය කිරීම වෙනුවෙන් සලකා බැලිය යුතු තවත් ක්ෂේත්‍ර රාශියක් සම්බන්ධයෙන් රජය අවධානය යොමුකළ යුතුව ඇති අතර ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් උපකාර ලබාගත හැකි විදේශීය පාර්ශ්වයන් සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම ඒ අතරින් ප්‍රධාන වන බව හඳුනාගත හැකිය.

ඉන්දියාව යනු මේ වන විට ලොව 05වන විශාලතම ආර්ථිකයයි. වසර කිහිපයක් ඇතුළත ඉතාම වේගවත් ආර්ථික ප්‍රගමනයක් ලබාගත් ඉන්දියාව කොවිඩ්-19 වසංගතය සහ යුක්රේන යුද්ධය වැනි ගෝලීය අභියෝගවලට ඉතාම සාර්ථකව මුහුණ දුන් ජාතියක් වන බැවින් ගෝලීය උතුරේ සාම්ප්‍රදායික රටවල් මෙන්ම චීනය ද තවදුරටත් ආර්ථික සංවර්ධන දර්ශකවල වර්ධනයන් අත්පත් කරගැනීමේ දුෂ්කරත්වන්ට මුහුණදෙමින් සිටියදී ඉන්දියාව 2030 වසර වන විට ලොව තෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇති බවට අනාවැකි පළ වී තිබෙනවා.

ඒ අනුව අතිශය යාබද අසල්වැසියාගේ ශක්තිමත් ආර්ථිකය සමග සම්බන්ධ වෙමින් මෙරට බිඳවැටුණු ආර්ථිකය යළි පණගැන්වීම ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවධානය යොමුකළ යුතු ප්‍රධානතම කරුණක් බව හඳුනාගත හැකිය. ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාව තුළ නිල විදේශ මුදල් ඒකකයක් ලෙස භාවිතයට ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර ඇත්තේ ද මෙවන් පසුබිමකයි. ඉන්දියාවේ සිදුකළ සංචාරයක් අතරතුර ඉන්දීය පුවත් සේවයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පසුගියදා විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා. මෙම අවස්ථාවේ දී අවශ්‍යව ඇත්තේ ඉන්දියානු මුදල් ඒකකය ශ්‍රී ලංකාවේ භාවිත කළ හැකි මුදල් ඒකකයක් බවට පත් කිරීම වන අතර ඒ හරහා ඉන්දියානුවන්ට ඔවුන්ගේ මුදල් ඍජුවම ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැකි බැවින් ශ්‍රී ලාංකිකයින්ට වෙනත් මුදල් ඒකකයක් මත යැපීමෙන් තොරව කටයුතු කළ හැකි බව ද විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා එහිදී සඳහන් කර තිබෙනවා. එමෙන්ම ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉන්දීය රජය ලබා දුන් සහය අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතා ප්‍රබල බව අමාත්‍ය අලි සබ්‍රි මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හමු වූ අවස්ථාවේදී ද ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඉන්දියානු රුපියල (INR) ලොව පුරා සිටින ඉන්දීය වෙළඳ හවුල්කරුවන් විසින් පිළිගත් අන්තර්ජාතික මුදල් ඒකකයක් ලෙස හඳුන්වාදීමට ඉන්දියාව විශේෂ වැඩසටහනක් ආරම්භ කළේ පසුගිය වසරේදී යි. යුක්රේන යුද්ධය හේතුවෙන් බටහිර රටවල් රුසියාවට පැනවූ සම්බාධක හමුවේ රුසියාව සමග වෙළඳ ගනුදෙනු සිදුකරන රටවල් ගණනාවකට ගැටලු රැසකට මුහුණ දීමට සිදුව තිබුණා. ඉන්දියාව යනු රුසියාවේ ප්‍රධානතම වෙළඳ පාර්ශ්වකරුවෙක්. ඒ අනුව ඩොලරය මත උද්ගත වූ ගැටලු සැලකිල්ලට ගනිමින් දෙරට අතර ගනුදෙනු ඉන්දියානු රුපියල භාවිත කරමින් සිදුකිරීමට ඉන්දියාව සහ රුසියාව එකඟත්වයකට පැමිණ තිබෙනවා. ඉන්දීය රුපියල ලොව වෙනත් රටවල භාවිතය පිළිබඳව ලොව පුරා කතාබහ ආරම්භ වන්නේ එම එකඟත්වයත් සමගින්.

ඒ අනුව ඉන්දියානු සංචිත බැංකුව, විදේශ කටයුතු සහ වාණිජ අමාත්‍යාංශ ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ ආයතන එක්සත් ජනපද ඩොලරය වෙනුවට ඉන්දියානු රුපියල් භාවිත කරමින් අන්තර්ජාතික වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම සහ විධි සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබුවා. ඊට සමගාමිව ඉන්දීය රුපියල ගෝලීය මුදල් ඒකකයක් බවට පත් කිරීමේ කඩිනම් ඉදිරි පියවරක් ලෙස ‘රුපියල් වෙළඳාම’ පිළිබඳව සාකච්ඡා කරන ලෙස අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින ලෙස ද ඉන්දීය මූල්‍ය පාලකයන් වාණිජ බැංකුව වෙත දැනුම්දීමට පියවර ගෙන තිබුණා. මේ වන විට ශ්‍රී ලාංකීය සමාගම් කිහිපයක් සහ සංචාරක ක්ෂේත්‍රය ද ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රුපියල පිළිගන්නා ලෙස ඉල්ලා ඇත්තේ මෙම පසුබිම තුළයි.

එහි තවත් ඉදිරි පියවරක් ලෙස ඉන්දියාව විසින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලාංකික පුරවැසියන්ට භෞතික ස්වරූපයෙන් ඉන්දියානු රුපියල්වලින් ඩොලර් 10,000 (ඉන්දියානු රුපියල් ලක්ෂ 8.14) දක්වා සිය සන්තකයේ තබා ගැනීමට අවසර ලබා දී තිබුණා. ඒ ශ්‍රී ලංකා රජය විසින් ද දැක්වූ අනුමැතියකින් අනතුරුවයි. ඒ අනුව දැවැන්ත අසල්වැසියාගේ මුදල් ඒකකය ලොව වෙනත් රටවල මුදල් බවට පරිවර්තනය කිරීමට මෙමගින් ශ්‍රී ලාංකිකයන්ට හැකියාව ලැබෙන අතර එය පැහැදිලිවම අන්තර්ජාතික වෙළඳාමේ සිරවී ඇති ස්ථාන සක්‍රීය කරවීමට පැහැදිලි උපකාරයක් වන බව සඳහන්. මෙහි ඇති අනෙක් වැදගත්ම කරුණ වන්නේ දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියානු රුපියල ඇතුළු තවත් විදේශීය මුදල් ඒකක 15කට වැඩි සංඛ්‍යාවක් අන්තර්ජාතික වෙළඳාමේදී භාවිත කිරීම වෙනුවෙන් සිය සන්තකයේ තබාගැනීමට ශ්‍රී ලාංකිකයන්ට අවසර ලබාදීමයි. එහිදී ඉන්දීය රුපියලට අමතරව ඕස්ට්‍රේලියානු ඩොලර්, නෝර්වීජියානු ක්‍රෝනර්, කැනේඩියානු ඩොලරය, පවුම් ස්ටර්ලින්, චීන රෙන්මින්බි (යුවාන්), සිංගප්පූරු ඩොලර්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, ස්වීඩන් ක්‍රෝනර්, යුරෝ, ස්විස් ෆ්‍රෑන්ක්, හොංකොං ඩොලර්, තායි බාට්, ජපන් යෙන්, එක්සත් ජනපද ඩොලරය සහ නවසීලන්ත ඩොලර් ශ්‍රී ලංකාව තුළ සන්තකයේ තබාගත හැකි විදේශීය මුදල් ඒකක ලෙස මහ බැංකුව විසින් පිළිගෙන තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම අනුමැතිය ලබා දී තිබුණේ 2022 වසරේ මැද භාගයේදීයි.

මෙලෙස ඉන්දීය මුදල් ඒකකය ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් භාවිත කිරීමට ඉඩ සැලසීමෙන් ශ්‍රී ලංකාවට අත්වන වාසිය කුමක්ද? එහි වාසිදායක තත්ත්වයන් කිහිපයක් පවතින අතර ඉන් ප්‍රධාන වන්නේ තවදුරටත් එක්සත් ජනපද ඩොලර් සොයමින් වෙහෙස නොවී ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩ හා සේවා වෙනුවෙන් ඉන්දීය රුපියල භාවිත කරමින් ගෙවීම් සිදුකිරීමට හැකියාව ලැබීමයි. එමෙන්ම මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයින්ගෙන් මෙන්ම ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට සිදුකෙරෙන අපනයනයන් ඔස්සේ ද ඉන්දියානු රුපියල් රැස්කරගැනීමේ අවස්ථාව මෙරටට හිමිවනු ඇති. 2021-2022 මුල්‍ය වර්ෂයේ දී පමණක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම එක්සත් ජනපද ඩොලර් බිලියන 6.81 ක් වූ අතර ආනයනයට වඩා වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් ඉන්දියාවෙන් අපනයනය කර තිබෙනවා. මෙම නව තත්ත්වයේ අදහස වන්නේ මෙම ඩොලර් බිලියන 6.81ක ගනුදෙනු ඩොලර් භාවිතයකින් තොරව ඉදිරියේදී ඉන්දීය සහ ශ්‍රී ලංකා රුපියල් භාවිත කරමින් සිදුකිරීමට හැකියාව ලැබේද යන්නයි. ඒ අනුව මේ ආකාරයෙන් දෙරටට පොදු මුදල් ඒකකයක් ඔස්සේ ගනුදෙනු කිරීමට අවකාශය උදාවීම ශ්‍රී ලංකාව මුහුණදී සිටින දැවන්ත ආර්ථික අර්බුදය හමුවේ මෙරටට ඇති විශාල සහනයක් ගෙනෙන පියවරක්, එනම් ද්විපාර්ශ්වික සාධනීය වෙළඳ පියවරක් මිස අන් කිසිවක් නොවන බව වටහා ගැනීම අසීරු වන්නේ නැත.

Share This