සුබසාධක දීමනා අයදුම්පත් ‘ලක්ෂ 22කට අධික ප්‍රමාණයක’ තොරතුරු තහවුරු කර අවසන්

සුබසාධක දීමනා අයදුම්පත් ‘ලක්ෂ 22කට අධික ප්‍රමාණයක’ තොරතුරු තහවුරු කර අවසන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මගින් ලැබී ඇති අයැදුම්පත් ලක්ෂ 22කගේ වැඩි ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීම අවසන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 340කින් ලද අයදුම්පත් ලක්ෂ 37ක සුබසාධක දීමනා ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මේ අනුව දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 82.1% කි.

පිළිවෙළින් අම්පාර දිස්ත්‍රික්කයෙන් 78.3% ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 74.5% ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 73.3% ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 71.7% ක් ආදී සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අයැදුම්පත් 2,227,888 ක තොරතුරු තහවුරු කර ගැනීම සිදුකර තිබෙනවා.

මෙම තොරතුරු සමීක්ෂණ කටයුතු මාර්තු 31 වැනිදායින් අවසන් වන බැවින් කඩිනමින් අදාළ තොරතුරු සමීක්ෂණ කටයුතු සිදුකරන නිලධාරීන් වෙත නිවැරදිව දත්ත ලබා දීමට කටයුතු කරන ලෙස රජය අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරන අතර නියමිත දිනට පෙර නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වන අයදුම්කරුවන්ට සුබසාධක ප්‍රතිලාභ අහිමි විය හැකි බව ද අවධාරණය කරනවා.

 

Share This