චීනයට එරෙහිව තවත් දැවැන්ත රටක් TikTok තහනම් කරයි

චීනයට එරෙහිව තවත් දැවැන්ත රටක් TikTok තහනම් කරයි

ඕස්ට්‍රේලියාව සිය රජය සතු සියලුම උපාංගවලින් TikTok යෙදවුම භාවිතය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආරක්‍ෂක අවශ්‍යතා මත, චීනයට අයත් වීඩියෝ යෙදුමට එරෙහිව පියවර ගන්නා නවතම එක්සත් ජනපද මිත්‍ර රට බවට ඕස්ට්‍රේලියාව පත්වනවා.

ආරක්ෂක කටයුතුවලට අදාළ දත්ත tiktok යෙදවුම හරහා චීනය විසින් ලබා ගන්නා බවට වන චෝදනාව යටතේයි මෙම තහනම ක්‍රියාත්මක කර ඇත්තේ.

ඕස්ට්‍රේලියාවේ තීරණයෙන් තමන් අතිශයින් කළකිරීමට පත් වූ බවත්, එය “දේශපාලනය විසින් මෙහෙයවන ලද එකක් මිස සත්‍යක් නොවන බවයි ඊට ප්‍රතිචාර දක්වමින් TikTok සමාගම ප්‍රකාශ කරන්නේ.

මෙම තහනම “ප්‍රායෝගිකව හැකි ඉක්මනින්” ක්‍රියාත්මක වන බව ඕස්ට්‍රේලියාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ වනවිට ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ නවසීලන්තය යන රටවල් රජයේ උපාංගවලින් tiktok යෙදුම තහනම් කර ඇති අතර ප්‍රංශය, බෙල්ජියම සහ යුරෝපීය කොමිසම ද එවැනිම තහනමක් ප්‍රකාශයට පත් කර ඇති බවයි පැවසෙන්නේ.

TikTok හි ප්‍රධාන විධායක නිලධාරී Shou Zi Chew පසුගිය මාසයේ එක්සත් ජනපද කොන්ග්‍රසයට ප්‍රකාශ කළේ මෙම යෙදුම දත්ත බෙදාගැනීම හෝ චීන කොමියුනිස්ට් පක්ෂය සමග සම්බන්ධතා ඇති බව වන චෝදනාව නැවත නැවතත් ප්‍රතික්ෂේප කරන බවයි.

“TikTok ඕස්ට්‍රේලියානුවන්ට කිසිදු ආකාරයකින් ආරක්‍ෂක අවදානමක් බවට යෝජනා කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති අතර අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවලට වඩා වෙනස් ලෙස නොසැලකිය යුතුය” යනුවෙන් TikTok හි ඕස්ට්‍රේලියාව සහ නවසීලන්ත සාමාන්‍යාධිකාරී Lee Hunter නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු පුවත්පතක් ඊයේ වාර්තා කර තිබුණේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ සමාලෝචනයකින් පසුව මෙම තහනම ක්‍රියාත්මක කිරීමට එරට රජය පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් පෞද්ගලික දුරකතනවල tiktok යෙදුම භාවිතා කිරීමට තහනමක් පැනවෙන්නේ නැහැ.

2018 දී, ඕස්ට්‍රේලියාව, චීනයේ Huawei සිය 5G ජාලය දියත් කරන අතරතුර උපකරණ සැපයීම තහනම් කරමින් කටයුතු කළ අතර චීනය ඊට ප්‍රතිචාර දැක්වූයේ ඕස්ට්‍රේලියානු භාණ්ඩ සඳහා තීරු බදු පැනවීමෙන්.

Share This