රට දියුණු කරන්න අවුරුදු 10ක් ඇති – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති

රට දියුණු කරන්න අවුරුදු 10ක් ඇති – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති

නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ඇත්නම් වසර 10ක් ඇතුළත මෙරට දියුණු කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස් වූ අවස්ථාවේදීයි.

මෙම කාරක සභාව සඳහා අදහස් ලබාගැනීමට විශ්ව විද්‍යාල නියෝජනය කරන ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් කැඳවා තිබූ අතර ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල නියෝජනය කරන මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් මේ සම්බන්ධයෙන් තම අදහස් ලබා දී තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ මෙරට නිෂ්පාදන ආර්ථිකය වැඩිකරගැනීම අවශ්‍ය වන බවත් ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කිරීම වැදගත් වන බවත්ය.

තවද මෙහිදී අදහස් දක්වමින් කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් දිසානායක මහතා පෙන්වා දුන්නේ, නිෂ්පාදකයන් ආරක්ෂාකිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩ පිළිවෙළක් මෙරට නොපවතින බවයි.

එසේම ආර්ථිකය සම්බන්ධයෙන් ස්ථිර ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ද ඒ මහතා පෙන්වා දී තිබෙනවා.

වයඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමින්ද පෙරේරා මහතා පෙන්වා දී ඇත්තේ මෙරට ආර්ථික ප්‍රතිපත්තිය සහ දේශපාලන ප්‍රතිපත්තිය පටලවාගෙන ඇති බවයි.

මේ නිසා ස්වාධීන ආර්ථික ප්‍රතිපත්තියක් මෙරටට අවශ්‍ය බව මහචාර්යවරයා පෙන්වා දුන් අතර මේ සඳහා හොඳම උදාහරණය ඉන්දියාව බවත් එරට ආර්ථික ප්‍රතිපත්තිය දේශපාලන ප්‍රතිපත්තිය සමග බද්ධ වී නැති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

Share This