චීන පර්යේෂණ නැව ගැන විදෙස් මාධ්‍ය කියන කතා

චීන පර්යේෂණ නැව ගැන විදෙස් මාධ්‍ය කියන කතා

චීන පර්යේෂණ නෞකාවක් වන ෂී යැන් 6(Shi Yan 6) ඔක්තෝම්බර් මාසයේදී කොළඹ සහ හම්බන්තොට වරායේ නැංගුරම් ලෑම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව නවදිල්ලිය කොළඹට දන්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙය තවත් යුවාන් වැන්ග් 5 නෞකාව පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී හටගත් අර්බුදයට නොදෙවෙනි අර්බුදයක් නිර්මාණය කරයිද යන්න එම මාධ්‍ය විමසා සිටින බවයි පැවසෙන්නේ

යුවාන් වැන්ග් 5 නෞකාව මෙරට හම්බන්තොට වරායට පැමිණියේ පසුගිය වසරේ අගෝස්තු 16 වැනිදායි.

යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණියේ ප්‍රමාද කිරීම් රැසකට පසුවයි .

එමෙන්ම සංචාරය ප්‍රමාද කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය කොළඹ චීන තානාපති කාර්යාලයට දැනුම් දී තිබුණ අතර ඊට හේතුවූයේ ඉන්දියාව එම නෞකාව පැමිණීම කෙරෙහි දැඩි ප්‍රතිරෝධයක් දක්වා තිබීමයි

ඉන්දියාවේ එම අනතුරු ඇඟවීම්වලින් කියවුණේ අධි තාක්ෂණික පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 හරහා ඉන්දීය අර්ධද්වීපයේ තීරණාත්මක ආරක්ෂක සහ ආර්ථික මර්මස්ථාන නිරීක්ෂණය කිරීමට චීනයට අවස්ථාවක් උදාවන බවයි.

එය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට ගැටළුවක් බවද මීට පෙර ඉන්දියාව සාධාරණ හේතු දැක්වීමක් ලෙස සඳහන් කර සිටියා.

කෙසේවෙතත් ඉන්දියාවේ එම විරෝධතා නොතකා අවසානයේ චීන නෞකාව හම්බන්තොට වරායට පැමිණ දින 07ක පමණ කාලයක් ගතකර ආපසු ගිය අතර චීනයට තමන්ට තර්ජනයක් එල්ල කිරීමට අවස්ථාව උදාකරදුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව ඉන් අනතුරුව තවදුරටත් උපේක්ෂා සහගත වූයේ නැහැ

ඒ අතරේ වුවද ඉන්දියාව ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අඛණ්ඩව උපකාර කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට තවදුරටත් ඉන්දියාව උපකාර කරමින් දැවැන්ත ආයෝජන ව්‍යාපෘති රැසක් ගෙන ඒමට සුදානමින් සිටින මේ අවස්ථාවේදී චීනයේ අධිබල පර්යේෂණ නෞකාවක් ශ්‍රී ලංකා මුහුදට පැමිණිමෙන් සිදුවිය හැකි තත්ත්වය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි එම විදෙස් මාධ්‍ය පවසන්නේ.

Share This