
ආසියානු කුසලානයේ බංග්ලාදේශ හා ඇෆ්ගනිස්ථාන ගැටුම අද
ආසියානු කුසලානයේ හතරවන තරගය අද(03) පස්වරුවේ පැවැත්වෙනවා.
ඒ බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි.
තරගය පාකිස්ථානයේ ලාහෝර් නගරයේ දී පැවැත්වෙනවා.
එසේම ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ, පාකිස්ථානය සහ ඉන්දියාව අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවති තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵලයකින් තොරව අවසන් වීමත් සමගයි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 48යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 266 ක් ලබා ගත්තා.
ඉන්දීය ඉනිම අතරවාරයේ දී ද වර්ෂාවෙන් තරගයට අවස්ථා කිහිපයකදී බාධා එල්ල වුණා.
අනතුරුව ඉන්දීය ඉනිම අවසන් වීමෙන් පසු යළි ක්‍රීඩාංගනයට වර්ෂාව ඇද වැටුණු අතර ඒ් හේතුවෙන් පාකිස්ථාන ඉනිම ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.
ඒ් අනුව තරගය ප්රතිඵලකින් තොරව නිමා කෙරුණා.
මෙම තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වීම නිසා කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වූ අතර ඒ අනුවයි පළමු තරගයේ දී නේපාලය පරාජයට පත් කළ පාකිස්ථාන කණ්ඩායම සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගත්තේ.
