මොරොක්කෝවේ භූමිකම්පාවෙන් මියගිය ගණන 2,122 දක්වා ඉහළට – සුන්බුන් යට සිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්

මොරොක්කෝවේ භූමිකම්පාවෙන් මියගිය ගණන 2,122 දක්වා ඉහළට – සුන්බුන් යට සිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්

පසුගිය සිකුරාදා (08) මොරොක්කෝවේ සිදුවූ භූමිකම්පාවෙන් පසු සුන්බුන් යට සිරවී සිටින අය බේරා ගැනීමට තවදුරටත් මෙහෙයුම් සිදු කරන අතර ගලවා ගැනීමේ කණ්ඩායම්වලට ජනතාව බේරා ගැනීමේදී කාලය සමගද තරගයකට මුහුණ පෑමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මේ වනවිට අවම වශයෙන් පුද්ගලයන් 2,122 ක් මිය ගොස් 2,421 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද එරට රජය වාර්තා කරනවා.

රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රබල කම්පනය හේතුවෙන් නිවාස කඩා වැටී, මාර්ග අවහිර වී ඇති අතර, රටේ උතුරු වෙරළ තීරය දක්වා පිහිටි ගොඩනැගිලිවලටද දැඩි හානි සිදුව තිබෙනවා .

යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන මරකේෂ්ගේ පැරණි නගරයට හානි සිදුව ඇති බවයි පැවසෙන්නේ

මොරොක්කෝවේ VI වන මොහොමඩ් රජු විසින් සෙනසුරාදා(09) සිට දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

එමෙන්ම ලේ බැංකු, ජලය, ආහාර, කූඩාරම් සහ බ්ලැන්කට් තොග වැඩි කිරීම සඳහා සිවිල් ආරක්ෂක ඒකක යොදවා ඇති බවද සඳහන්

ගලවා ගැනීමේ විශේෂඥයින්, වෛද්‍ය කණ්ඩායමක්, සෝදිසි සුනඛයන් සහ උපකරණ ඇතුළු හදිසි ප්‍රතිචාර කණ්ඩායම් යෙදවීමට එක්සත් රාජධානිය මොරොක්කෝවෙන් කළ ඉල්ලීම පිළිගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ස්පාඤ්ඤය සහ කටාර් රාජ්‍යයන් ද කියා සිටියේ තමන්ටද ඉල්ලීම් ලැබී ඇති අතර සෙවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් යවන බවයි.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් කියා සිටියේ තමන් උදව් කිරීමට සූදානම්ව සිටින නමුත් මොරොක්කෝවෙන් විධිමත් ඉල්ලීමක් බලාපොරොත්තුවෙන් සිටින බවත් මෙම ආධාර ඉල්ලා සිටින තත්පරයේදී එය යොදවනු ඇති බවත්ය

එමෙන්ම එක්සත් ජනපදයද සෙවුම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් යෙදවීමට සූදානමින් සිටින බවත් අරමුදල් මුදා හැරීමට ද සූදානම් බවත් සඳහන් කර තිබෙනවා

Share This