කොංගෝවේ නායයාමකින් 17ක් මරුට – දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට

කොංගෝවේ නායයාමකින් 17ක් මරුට – දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සිදුවූ නායයාමකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොංගාල පළාතේ අගනුවර වන ලිසාලා හි උතුරු නගරයේ කොංගෝ ගං ඉවුර අසල ඊයේ(17) රාත්‍රියේ මෙම ව්‍යසනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

කාන්තාවන් හත් දෙනෙකු, පිරිමින් හත් දෙනෙකු සහ අවුරුදු පහට අඩු ළමුන් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

ප්‍රාදේශීය මෘත ශරීරාගාරයේ තබා ගැනීමට ඉඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඔවුන් එදිනම මිහිදන් කළ බව ලිසාලා නිලධාරි ඩෙසිරේ කොයෝ පවසනවා

දින කිහිපයක් පුරා පැවති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සිදුවූ නායයාම මෙම මරණවලට හේතුව ලෙසයි බලධාරීන් පවසන්නේ

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ ගඟ ආශ්‍රිතව පිහිටි නිවාස කිහිපයක් ජලයෙන් යටවී ඇති අතර සුන්බුන් අතර සිටින පුද්ගලයින් බේරා ගැනීමට ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවයි.

මොංගාලයේ ආණ්ඩුකාර සීසර් ලිම්බයා මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර අද (18) සිට දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

Share This