2030 දී ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත්වෙන ඉන්දියාව

2030 දී ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත්වෙන ඉන්දියාව

2030 වසර වන විට ඉන්දියාව, ජපානය අභිබවා ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත් වනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

S&P Global Market Intelligence සිය නවතම වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දැනට ලෝකයේ 5 වන විශාලතම ආර්ථිකය හිමි ඉන්දියාව 2030 වසර වන විට ලොව 3 වන විශාලතම ආර්ථිකය බවට පත් වනු ඇති බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.

ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය 2030 වසර වන විට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 7.3 ක දක්වා වර්ධනය වනු ඇති බව සඳහන්.

එමෙන්ම 2021 සහ 2022 වසර දෙකක වේගවත් ආර්ථික වර්ධනයකින් පසුව, ඉන්දියානු ආර්ථිකය 2023 වර්ෂය තුළ තිරසාර ශක්තිමත් වර්ධනයක් ද පෙන්නුම් කර තිබෙනවා.

ඉන්දියානු දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය දැනටමත් එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා විශාල වී ඇති අතර 2030 වන විට ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය ජර්මනිය අභිබවා යනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

දැනට සිදුවෙමින් පවතින ඉන්දියාවේ ඩිජිටල් පරිවර්තනය ඊ-වාණිජ්‍යයේ වර්ධනය වේගවත් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ඉදිරි දශකය තුළ තාක්‍ෂණය සහ ඊ-වාණිජ්‍යය පිළිබඳ ප්‍රමුඛ ගෝලීය බහුජාතික සමාගම් ඉන්දියානු වෙළඳපොළට ආකර්ෂණය කර ගැනීමද සිදුවනු ඇති.

ඉන්දියාව ඉදිරි දශකය තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් ලෙස අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කර තිබෙනවා.

බැංකු, රක්ෂණ, වත්කම් කළමනාකරණය, සෞඛ්‍ය සේවා සහ තොරතුරු වැනි සේවා කර්මාන්ත සඳහා ස්වයංක්‍රීය, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ රසායනික ද්‍රව්‍ය වැනි නිෂ්පාදන කර්මාන්ත ඇතුළු පුළුල් පරාසයක කර්මාන්තවල බහුජාතික සමාගම් සඳහා වඩාත් වැදගත් දිගුකාලීන වර්ධන වෙළඳපොළක් බවට ඉන්දියාව පත් කරනු ඇති බවයි S&P Global Market Intelligence ප්‍රකාශ කර ඇත්තේ.

Share This