චීනයේ වහල් ජීවිත ගත කරන උතුරු කොරියානුවන්

චීනයේ වහල් ජීවිත ගත කරන උතුරු කොරියානුවන්

පසුගිය මාසයේ, චීනයේ සේවය කරන උතුරු කොරියානුවන් තමන්ගේ වැටුප් නොලැබෙන බව පවසමින් ඔවුන් සේවය කරන ස්ථානවල කැරලි ගැසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඔවුන්ගේ වැටුප් Pyongyang සඳහා ආයුධ තැනීමට යොදවා ඇති බවටත් වාර්තා වීමත් සමගයි.

උතුරු කොරියානුවන් විරෝධතා දක්වන අවස්ථා බොහෝ දුරට අසන්නට නොලැබෙන්නේ එම රාජ්‍යය පුරවැසියන් කෙරෙහි පූර්ණ පාලනයක් ඇති කර ගන්නා නිසා මෙන්ම මහජන විරුද්ධත්වය මරණ දඬුවමට හේතුවන නිසයි.

උතුරු කොරියානුවන් සිදුකළ බවට වාර්තා වූ කැරලි මෙතෙක් හරියාකාරව තහවුරු වී නොමැති වුවත්, පාලන තන්ත්‍රයට මුදල් උපයමින් විදේශයන්හි සේවය කරන දස දහස් ගණන් උතුරු කොරියානුවන්ගේ යහපැවැත්ම පිළිබඳව මේ වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

තමන් වහලුන් මෙන් සූරාකෑමට ලක්වන බවටයි චීනයේ රැකියාවේ නිරත වන උතුරු කොරියානුවන් චෝදනා කරන්නේ.

පසුගිය මාසයේ මාධ්‍ය වෙත තොරතුරු ලබාදුන් චීනයේ හිටපු උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට අනුව, ජනවාරි 11 වන දින ඊසානදිග චීනයේ උතුරු කොරියානුවන් සේවය කරන ඇඳුම් කම්හල් කිහිපයක කැරලි වාර්තා වී තිබෙනවා.

වාර්තා වී ඇති පරිදි උතුරු කොරියානුවන් 100,000ක් පමණ චීනයේ රැකියාවේ නිරත වන බව සඳහන්.

කෙසේ වෙතත් උතුරු කොරියානුවන්ට චීනයේදී මුහුණ දීමට සිදුවන අකටයුතුකම්වලට එරෙහිව නැගී සිටීමට මේ වනවිට සියලු පාර්ශ්ව නැගී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This