ගෝලීය උෂ්ණත්වය ප්‍රථම වරට සෙල්සියස් 1.6 දක්වා ඉහළට

ගෝලීය උෂ්ණත්වය ප්‍රථම වරට සෙල්සියස් 1.6 දක්වා ඉහළට

ගෝලීය උෂ්ණත්වය ප්‍රථම වරට සෙල්සියස් 1.6 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ක් වීම වළක්වන බවට මෙයට වසර නවයකට පෙර ලෝක නායකයන් විසින් ප්‍රතිඥා දී තිබුණත් ඉකුත් වසරක කාලය පුරාම ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ඉක්මවා ගොස් තිබූ බවයි යුරෝපා සංගමයේ කාලගුණ විද්‍යා සේවාව නිවේදනය කරන්නේ.

මෙය ලෝක ඉතිහාසයේ ගෝලීය උණුසුම අදාළ සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව සේ සැලකෙනවා.

2015 වසරේ ප්‍රංශයේ පැරිස් නගරයේ පැවති ගෝලීය දේශගුණික විපර්යාස සමුළුවට සහභාගි වූ ලෝක නායකයන් විසින් පරිසරයට මුදා හැරෙන මිනිසාට අහිතකර කාබන් වායුව කපා හරිමින් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ක ඉක්මවීමට ඉඩ නොදෙන බවට ප්‍රතිඥාවක් දී තිබුණා.

එම ප්‍රතිඥාව ලබා දීමට හේතු වී තිබුණේ එම උෂ්ණත්ව මට්ටමට ගෝලීය උෂ්ණත්වය ළඟා වුවහොත් එමගින් මිනිසාට මෙන්ම ගහකොළ ඇතුළු පරිසරයට හා සතුන්ට හානිකර ප්‍රතිඵල අත් විය හැකි නිසා බවයි සඳහන් වන්නේ.

විද්‍යාඥයන්ට අනුව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ඉක්මවමින් සෙල්සියස් අංශක 2ක් දක්වා ඉහළ ගියහොත් ඒ හරහා දරුණු තාප තරංග (heat wave ) මුහුදු ජල මට්ටම ඉහළ යෑම හා වන සතුන් විශාල වශයෙන් මිය යෑම වැනි දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට සිදු වනවා.

වසරක කාලයක් තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ක් ඉක්මවා වාර්තා වීම සැලකිල්ලට ගත යුතු කරුණක් බවත් මෙහිදී වගකිවයුත්තන් විසින් ගෝලීය උණුසුම වැඩි වන අයුරින් පරිසරයට හානිකර වායුන් මුදා හැරීම මෙම තත්ත්වයට මුල් වී ඇති බව රාජකීය කාලගුණ විද්‍යා සංගමයේ ප්‍රධාන විධායක මහචාර්ය ලිස් බෙන්ට්ලි පවසනවා.

එමෙන්ම එහිදී වගකිවයුත්තන් විසින් ගත් වැරදි පියවර හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවත් මෙහිදී දැන් සිදු කළ යුතු කාර්යය කුමක්දැයි අවබෝධ කරගත් යුතු බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Share This