පැපුවා නිව්ගිනියාවේ නාය යෑමෙන් දහස් ගණනක් අතුරුදන්

පැපුවා නිව්ගිනියාවේ නාය යෑමෙන් දහස් ගණනක් අතුරුදන්

පැපුවා නිව්ගිනියාවේ සිදුවූ මාරාන්තික නාය යෑමකින් අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව දහස් ගණනක් දක්වා ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජාතික ආපදා මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලිපියක් නිකුත් කරමින් කියා සිටියේ ඇති වූ ව්‍යසනයෙන් 2,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, සමහර ස්ථානවල මීටර් 10 ගැඹුරට සුන්බුන් සහ ප්‍රමාණවත් උපකරණ නොමැතිකම හේතුවෙන් ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට බාධා එල්ල වී ඇති බව සඳහන්.

එහිදී විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තුවාල ලැබූ සංඛ්‍යාව තහවුරු කිරීම දුෂ්කර වී ඇති අතර නිශ්චිත නිගමනයන් නිකුත් කිරීම අසීරු බවයි.

මේ වන විට මළ සිරුරු ගොඩ ගැනීම ආරම්භ කර ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව 670 ක් ලෙස සඳහන් කරනවා.

පැපුවා නිව්ගිනියාවේ කඳුකර ප්‍රදේශයක් කඩා වැටීමෙන් එංගා පළාතේ ජනාකීර්ණ ගම්මානයක් විනාශ වූ අතර හානිය කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක් දක්වා විහිදී ඇති බව සඳහන්.

ආපදාවට පෙර එම ප්‍රදේශයේ පුද්ගලයන් 3800ක් පමණ වාසය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This