අප්‍රිකානු මැතිවරණයෙන් කිසිඳු පක්ෂයකට බහුතරයක් නැහැ -සන්ධාන රජයක් බිහිවන ලකුණු

අප්‍රිකානු මැතිවරණයෙන් කිසිඳු පක්ෂයකට බහුතරයක් නැහැ -සන්ධාන රජයක් බිහිවන ලකුණු

නව රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා දැඩි පීඩනයකට ලක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පැවති මැතිවරණයෙන් කිසිඳු පක්ෂයකට බහුතරය දිනා ගැනීමට නොහැකි වූ අතර පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසයට හිමිව ඇත්තේ 41%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

ඒ අනුව වසර 30කට පසුව අප්‍රිකානු ජාතික කොංග්‍රසයට හිමිවූ අවාසනාවන්තම ඡන්ද ප්‍රතිඵලය මෙය වන බව සඳහන්.

පෙර පැවති මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලයට සාපේක්ෂව එම පක්ෂයට මෙවර ලැබී ඇති ඡන්ද ප්‍රතිශතය 58%ක් ඉක්මවා ගිය පහළ යාමක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.

1994දී නෙල්සන් මැන්ඩෙලා ජනාධිපතිවරයා බවට පත්වීමෙන් අනතුරුව පැවති සෑම මැතිවරණයකදීම පාහේ පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය 50% ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන තිබුණා.

රට තුළ වැඩි වශයෙන් සිදුවන දූෂණ වංචාවන්, ජීවන වියදම ඉහළ යාම, විරැකියාව සහ සිදුවන අපරාධ සංඛ්‍යාවේ ඉහළ යාම මෙලෙස පාලක පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය පහළ යාමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණයේ සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර දේශපාලන පක්ෂ රැසක් විසින් ඉදිරිපත් කර ඇති සියලු විරෝධතා සමාලෝචනය කිරීමෙන් පසුව අවශ්‍ය නම් යළි ප්‍රතිඵල ගණනය කිරීමට කටයුතු කරන බවයි.

ජනාධිපති රමපෝසාගේ නායකත්වයෙන් යුත් පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය විසින් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව සඳහන්.

ඒ අනුව සෙසු පක්ෂ සම්බන්ධ කර ගනිමින් සන්ධාන රජයක් පිහිටුවීම පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු අප්‍රිකානු මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය නිකුත් වී සති දෙකක් තුළ නව පාර්ලිමේන්තුව දිවුරුම් දීම සිදුවිය යුතු අතර අනතුරුවයි නව ජනාධිපතිවරයා තෝරාගැනීම සිදුවන්නේ.

Share This