දකුණු අප්‍රිකාවේ ජනපති ධුරය යළි සිරිල් රමෆෝසාට

දකුණු අප්‍රිකාවේ ජනපති ධුරය යළි සිරිල් රමෆෝසාට

දකුණු අප්‍රිකානු ජාතික කොංග්‍රසය (ANC) සහ විරුද්ධ පක්ෂ අතර ඇති වූ සුවිශේෂී සභාග ගිවිසුමකින් පසු සිරිල් රමෆෝසා එරට ජනාධිපතිවරයා ලෙස යළි තේරී පත්වී තිබෙනවා.

ජාතික සමගියේ නව රජය, මධ්‍ය – දක්ෂිණාංශික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය, සහ තවත් කුඩා පක්ෂ කිහිපයක් ඒකාබද්ධවී මෙම සභාග ආණ්ඩුව පිහිටවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජනාධිපති සිරිල් රමෆෝසා ඔහුගේ ජයග්‍රාහී කතාවේදී නව සන්ධානයට ප්‍රශංසා කළ අතර, රටේ සෑම දෙනාගේම යහපත සඳහා ක්‍රියා කිරීමට සහ එකට වැඩ කිරීමට නායකයින් අපේක්ෂා කරන බව කියා සිටියා.

මීට පෙර, පසුගිය මාසයේ පැවති මැතිවරණයේදී වසර 30කට පසු ප්‍රථම වතාවට පාර්ලිමේන්තු බහුතරය අහිමිවීමෙන් පසු දකුණු අප්‍රිකානු ජාතික කොංග්‍රසය හවුල් කර ගන්නේ කවුරුන්ද යන්න පිළිබඳ සති කිහිපයක් තිස්සේ පැවති සාකච්ඡාවලින් පසු ගනුදෙනුවක් සිදුව තිබෙනවා.

එහිදී ජාතික කොංග්‍රසය 40% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර මධ්‍ය-දක්ෂිණාංශික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය 22% ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්වූ බව සඳහන්.

ANC මහලේකම් Fikile Mbalula සභාග ගිවිසුම හැඳින්වූයේ ඔවුන් තැබූ විශිෂ්ට පියවරක් ලෙසයි.

මේ ගිවිසුම නිසා 2018 දී ඇති වූ දැඩි බල අරගලයකින් පසු ජේකොබ් සූමා වෙනුවට ජනාධිපති සහ ANC නායකයා ලෙස වන රමෆෝසා මහතාට බලය රඳවා ගැනීමට හැකි වූ බවයි මැතිවරණ විශ්ලේෂකයින් සඳහන් කරන්නේ.

සභාග ආණ්ඩු පිහිටවූවා පමණක් නොව කැබිනට් තනතුරු ලබාදීමේදී ඇතිවන ගැටලුවලටත් දැන් ජනාධිපතිවරයාට මුහුණදීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This