පොලිස් සැරයන්වරයෙකුට මුගුරු ප්‍රහාරයක්

පොලිස් සැරයන්වරයෙකුට මුගුරු ප්‍රහාරයක්

පුද්ගලයෙකු පූජාපිටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුට මුගුරකින් පහරදී බරපතළ තුවාල සිදුකොට තිබෙනවා.

එම පුද්ගලයා පූජාපිටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුට පහරදී තම නිවස අසල කොස් ගසක් මතට නැග විරෝධතාවයක් සිදුකරමින් සිටි අවස්ථාවේදීයි අද (26) දින දහවල් පූජාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පුද්ගලයා හිටපු හමුදා සෙබළෙක් වන අතර තම සහෝදරයා සමග පැවැති ආරවුලක් හේතුවෙන් සහෝදරයා ඒ පිළිබඳව පූජාපිටිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පූජාපිටිය පොලිසියේ සැරයන්වරයෙකු එම පැමිණිල්ල විභාග කිරීම සඳහා ඊයේ (25) දින පස්වරුවේ සැකකරුගේ නිවසට පැමිණ ඇති අවස්ථාවේ සැකකරු මුගුරක් ගෙන සැරයන්වරයාට බරපතළ ආකාරයෙන් පහර දීමක් සිදුකොට ඇති බවයි වාර්තා වුණේ.

මුගුරු පහර කෑමෙන් අස්ථි බිදීම ඇතුළු රෝගී තත්ත්වයකට පත් වූ සැරයන්වරයා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කොට ශල්‍යකර්මයක්ද සිදු කොට තිබෙනවා.

මෙම පහරදීමෙන් පසු පොලිස් අත්අඩංගුවට පත්වෙතැයි බියට පත්වූ සැකකරු එදින පස්වරුවේම නිවස අසල පිහිටි දැවැන්ත කොස් ගසක මුදුනටම නැග එම ගසෙන් පැන සියදිවි නසා ගන්නා බවට පොලිසියට හා ප්‍රදේශවාසීන් හට තර්ජනය කර තිබුණා.

අධික වර්ෂාව මධ්‍යයේ වුවද ඊයේ (25) දින රාත්‍රී කොස් ගස මුදුනේ ගත කළ මෙම පුද්ගලයා හට බිමට බසින ලෙස ප්‍රදේශයේ විහාරස්ථානයේ විහාරාධිපති හිමි සිදුකර ඉල්ලීමට අනුව අද (26) දින දහවල් ඔහු බිමට බැසීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත්වුණා.

පූජාපිටිය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වනවා.

Share This