බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000 ක් නොමිලේ

බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000 ක් නොමිලේ

ලෝක ආහාර වැඩසටහන විසින් බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000 ගොවි ජනතාවට නොමිලයේ බෙදා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසනවා.

මෙම පොහොර තොගය ඉදිරි වගා කන්න දෙකක් තුළ වී වගාව සඳහා ලබා දීමට නියමිත බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

රජය විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩසටහනෙන් කළ ඉල්ලිමක් පරිදි මෙම බණ්ඩි පොහොර තොගය ලබා දී තිබෙනවා.

වී වගාව සඳහා ඉතාමත් අත්‍යාවශ්‍ය පොහොර විශේෂයක් වන බණ්ඩි පොහොර නොයෙදීම මගින් ගොයම් කහවීම මෙන්ම ගොයම් කරළ නිසි ලෙස වර්ධනය නොවීම සිදුවන බවයි කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සදහන් කළේ.

බණ්ඩි පොහොර මිල රුපියල් 14,000ක් දක්වා ඉහළ මට්ටමක පැවැති අතර රජයට අයත් පොහොර සමාගම් මගින් මෙම මිල රුපියල් 9000 දක්වා අඩු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දුන්නා.

ඒ අනුව පසුගිය මහ කන්නයේ සිට බණ්ඩි පොහොර මිල රුපියල් 9,000 බැගින් අලෙවි කරනු ලැබුවා.

කෙසේ වුවද ලෝක ආහාර වැඩපිළිවෙළෙහි අනුග්‍රහය යටතේ බෙදාහරිනු ලබන බණ්ඩි පොහොර සඳහා වැට් හා මෙහෙයුම් ගාස්තු සඳහා රුපියල් බිලියන 3.5ක් වැය වෙනු ඇතැයි ගණන් බලා තිබෙනවා.

මෙම මුදල ලබා ගැනීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද මේ වනවිට ලැබී ඇතැයි අද (01) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා සදහන් කළා.

Share This