මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

රට තුළ මැතිවරණ නීතිය තවමත් බලාත්මක පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම කල් තබා ඇති බැවින් සහ එම ඡන්ද විමසීම පවත්වා අවසන් නොමැති බැවින් මැතිවරණ නීතිය බලාත්මකව පවතින බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 “ඒ” වගන්තිය ප්‍රකාරව මෙම නීතිය බලාත්මකව පවතින බව සඳහන්.

මෙම තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණ නීතිය බලපවත්වන කාලසීමාව තුළ කිසිඳු දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක්, අපේක්ෂකයෙක්, ප්‍රවර්ධනය නොවන ලෙස කටයුතු කළ යුතු බවයි මැතිවරණ කොමිසම පෙන්වාදෙන්නේ.

ඒ සඳහා කිසිදු රාජ්‍ය දේපලක් යොදා නොගත යුතු බවට සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් විශේෂ ගැසට් පත්‍රයක් හා චක්‍රලේඛයක් මඟින් දැනුවත් කර ඇති බව පෙන්වාදෙන එම කොමිසම 2313/32 දරණ ගැසට් පත්‍රය සහ 2023 ජනවාරි මස 05 වන දින නිකුත් කළ අංක 20 දරණ චක්‍රලේඛය ඒ අනුව තවදුරටත් බලාත්මකව පවතින බව අදාළ නිවේදනයෙන් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මෙම කාලසීමාව තුළ දී මැතිවරණ නීති කඩවන ආකාරයෙන් කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

එමෙන්ම ඉදිරි ඡන්ද විමසීම් නිදහස් හා සාධාරණ අයුරින් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති විධිවිධාන සහ චක්‍රලේඛවලට අනුගතව කටයුතු කරන ලෙස ද සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Share This