
අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතාගේ දේහයට පාර්ලිමේන්තුවේදී අවසන් ගෞරව
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයෙකු සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක අභාවප්‍රාප්ත රාජවරෝදයම් සම්පන්දන් මහතාගේ දේහයට කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු අද (03) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවසන් ගෞරව දක්වා තිබෙනවා.
එමෙන්ම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා, කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් රැසක් අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටි බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
මීට අමතරව හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන්.
අද ප.ව 2.00 ට පමණ රාජවරෝදයම් සම්පන්දන් මහතාගේ දේහය රැගත් අවමංගල රථ පෙරහැර පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන පියගැටපෙළ අසලට පැමිණි අවස්ථාවේදී කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පක්ෂ නායකවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු පිරිස විසින් දේහය භාරගැනීම සිදුවුණා.
අනතුරුව දේහය වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටුකොට ගනිමින් රතු පලස මතින් රැගෙන විත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස ආලින්දයේ පිහිටි විශේෂ උත්සව ශාලාවෙහි තැන්පත් කිරීම සිදුව තිබෙනවා.
අනතුරුව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු සම්භාවනීයන් පිරිස දේහයට අවසන් බුහුමන් දැක්වීමෙන් පසුව ශෝක ප්රකාශයන්ද සටහන් කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.