ජනපති සහ සමන්තා පවර් අතර සාකච්ඡාවක්

ජනපති සහ සමන්තා පවර් අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර අදහස් හුවමාරුවක් අද (11) මාර්ගගතව පවත්වා තිබෙනවා.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සහ සමන්තා පවර් මහත්මිය අතර හුවමාරු වී තිබෙන අතර ඉදිරියේදී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාවය ඉහළ නංවා ගැනීමේ අවස්ථා පිළිබඳවද සාකච්ඡා කළ බව සඳහන්.

රජය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රතිපත්ති අතර පවතින සමානතාව ද මෙහිදී පෙන්වාදුන් සමන්තා පවර් මහත්මිය ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කාර්යයන් සඳහා එක්සත් ජනපද නියෝජිතායතනයේ පූර්ණ සහාය ලබාදෙන බව ද ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට මෙන්ම ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය ඉහළ නැංවීමටත් එම කටයුතු ඉවහල් වනු ඇති බවද සමන්තා පවර් මහත්මිය වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.

Share This