
ලෝක ආර්ථික ප්‍රගමනයට චීනයේ අඛණ්ඩ අනුබලය
ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය, එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානය, ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඇතුළු ලොව ප්‍රධාන ආර්ථික සංවිධාන 10ක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා චීනයේ බෙයිජිං හි දී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එම අවස්ථාවට එක්වූ චීන අගමැති ලි ච්‍යං මහතා අවධාරණය කළේ වර්තමානයේ ලෝක ආර්ථිකය මන්දගාමී තත්ත්වයේ පසු වන අතර ආර්ථික ගෝලීයකරණය හා බහුපාර්ශ්වවාදය අභියෝගයන්ට ලක්ව ඇති බවයි.
චීනය ආර්ථික ගෝලීයකරණයේ හා බහුපාර්ශ්වවාදයේ නොසැලෙන ආරක්ෂකයකු බවත්, දිගු කාලයක සිට ලෝක ආර්ථිකයට අඛණ්ඩව ජවය එක්කිරීමට චීනය කටයුතු කර ඇති බවත් චීන අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.
එමෙන්ම විවිධ පාර්ශ්වයන් සමග එක්ව ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි මූලධර්මය හා බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමය ආරක්ෂා කිරීමට චීනය කැමැත්තෙන් පසු වන බව ද ලි ච්‍යං මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
ගෝලීය කළමනාකරණය සඳහා විවිධ ජාත්‍යන්තර ආර්ථික සංවිධානයන්ට සිය කාර්යභාරයන් ඉටු කිරීමට අනුබල දෙන චීනය සිය හැකියාවට සරිලන ජාත්‍යන්තර වගකීම් හා යුතුකම් දැරීමට ඉදිරිපත් වන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.
චීනය ලද දැවැන්ත සංවර්ධන ජයග්‍රහණ අගය කරමින් එහි සිටි ප්‍රධාන ජගත් ආර්ථික සංවිධාන ප්‍රධානීන් පැවසුවේ චීන ආර්ථික ප්‍රතිව්‍යූහගතකරණය හා අනාගතය කෙරෙහි පූර්ණ විශ්වාසය තබන බවයි.
එමෙන්ම චීනය සමග එක්ව බහුපාර්ශ්වවාදය හා ගෝලීයකරණය රැක ගනිමින් ලෝක ආර්ථිකය නම්‍යශීලිත්වයෙන් යුතුව වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.