පාසල් උපකරණ මිලදී ගැනීමේ රු. 6,000ක දීමනාව අස්වැසුම බැංකු ගිණුම් වෙත

පාසල් උපකරණ මිලදී ගැනීමේ රු. 6,000ක දීමනාව අස්වැසුම බැංකු ගිණුම් වෙත

පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා ලබා දෙන රු. 6,000ක දීමනාව අස්වැසුම බැංකු ගිණුම් වෙත නිකුත් කර තිබෙනවා.

පසුගිය සිකුරාදා මහා භාණ්ඩාගාරය හරහා එම දීමනා අස්වැසුම බැංකු ගිණුම්වලට මුදල් නිකුත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.

ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලද “Household Survey on Impact of Economic Crisis – 2023” දත්ත සමීක්ෂණ අනුව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව පාසල් යන ළමුන්ගෙන් සියයට 55කගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි අහිතකර බලපෑම් ඇති වී ඇති අතර මෙම ප්‍රතිශතය ග්‍රාමීය සහ වතු ආශ්‍රිතව වඩාත් ඉහළ අගයක් බව නිරීක්ෂණය වන බව ද අදාළ නිවේදනයේ සඳහන්.

මෙලෙස බලපෑමට ලක්වූ ළමුන් අතරින් සියයට 53.2ක් පාසල් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම අවම කර හෝ මුළුමනින්ම නවත්වා ඇති බවත්, සියයට 26.1ක් පෙර භාවිතා කරන ලද පාසල් ලිපි ද්‍රව්‍ය නැවත භාවිතා කිරීමට යොමු වී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම අවදානමට ලක් වූ, පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණු කරමින් 2025 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමට රජය අදහස් කර ඇති බව සඳහන්.

Share This