මෝටර් රථ ආනයනය සහ බදු ගැන නිලධාරීන් සමග සාකච්ඡා කළ ජනපති

මෝටර් රථ ආනයනය සහ බදු ගැන නිලධාරීන් සමග සාකච්ඡා කළ ජනපති

කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා එකතු කළ අගය මත බදු (වැට්) එකතු කිරීමේ ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීමට අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා.

ඒ, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදීයි.

එහිදී බදු අනුකූලතාවය සහ ආදායම් ඉපැයීම වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන විස්තීර්ණ ඩිජිටල් පද්ධතියක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම මෝටර් රථ ආනයනය, රඳවා ගැනීමේ බදු සහ වැට් බදු එකතු කිරීම, ඩිජිටල්කරණය පිළිබඳ ගැටලු සම්බන්ධව ද එම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු කර ඇති අතර රට තුළ පවත්නා මූල්‍ය අර්බුදය සහ ආර්ථික ප්‍රමුඛතාවන් සැළකිල්ලට ගනිමින් මෙම ගැටලු විසඳා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දී තිබෙනවා.

ආදායම් බදුවලට යටත් නොවන විශ්‍රාමිකයින්ගෙන් අය කරන රඳවා ගැනීමේ බදු නැවත ඔවුන්ට ලබාදීම සඳහා පහසු ක්‍රියාවලියක් සැකසීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී පෙන්වාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳව සුබවාදීව අදහස් පළ කළ ජනාධිපතිවරයා, රට යථා තත්ත්වයට පත්වෙමින් ස්ථාවරත්වය කරා ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින බව ප්‍රකාශ කර තිබෙනවා.

වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ජනතාව වෙත ලබාදෙන ප්‍රතිලාභ වැඩි කිරීමට රජය කැපවීමෙන් කටයුතු කරන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ.

Share This