අමෙරිකාව තුළ නිෂ්පාදන නොකරන්නේ නම් ඉහළ තීරු බදු ගෙවීමට සිදු වනු ඇති බව ජනපති ට්‍රම්ප් කියයි

අමෙරිකාව තුළ නිෂ්පාදන නොකරන්නේ නම් ඉහළ තීරු බදු ගෙවීමට සිදු වනු ඇති බව ජනපති ට්‍රම්ප් කියයි

සිය රට තුළ නිෂ්පාදන කටයුතු සිදු නොකරන්නේ නම් විශාල තීරු බද්දක් අය කිරීමට සිදු වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඊයේ(23) ස්විට්සර්ලන්තයේ Davos හි පැවති ලෝක ආර්ථික සංසදයේ 2025 වාර්ෂික සමුළුව වීඩියෝ ආකාරයෙන් අමතමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, අමෙරිකාව තුළ නිෂ්පාදන සිදු නොකරන සමාගම් සඳහා ඩොලර් බිලියන සිය ගණනක හෝ ට්‍රිලියන ගණනක පවා තීරු බදුවලට මුහුණ දීමට සිදු වනු ඇති බවයි.

එබැවින් අමෙරිකා තුළ නිෂ්පාදන කටයුතුවල නිරත වන්නැයි තමා ගෝලීය සමාගම් වෙත දැනුම් දෙන බව ඔහු පවසා තිබෙනවා.

එසේ නොවුවහොත් ඔවුන්ට විශාල තීරු බදු ගෙවීමට සිදුවන බවයි ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන්නේ.

කෙසේවෙතත් අමෙරිකාවේ දී නිෂ්පාදන කටයුතුවල යෙදෙන විදේශ ව්‍යවසායකයන් වෙතින් අය කෙරෙන ආයතනික බදු 15%ක් දක්වා අවම කිරීමට ද ඔහු ප්‍රතිඥා දී තිබෙනවා.

එසේ ම, යුරෝපා සංගමය අය කරන තීරු බදු කැපී පෙනෙන ඉහළ මට්ටමක පැවතීම, අධික සීමාකාරී රෙගුලාසි සහ යුරෝපා සංගමය හා අමෙරිකාව අතර විශාල වෙළඳ හිඟයක් දක්නට ලැබීම යන කරුණු මෙහිදී අමෙරිකානු ජනාධිපතිවරයාගේ විවේචනයට ද ලක්ව ඇති බව සඳහන්.

මෙවැනි තත්ත්වයන් අමෙරිකාවට ඉතා අසාධාරණ බැවින් ඊට නිසි පියවර ගන්නා බව ද ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.

Share This