
රේගුවේ සිදුවන අක්‍රමිකතා නවත්වන්න නීති දැඩි කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන් සමඟ 2025 අයවැය සහ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
මෙහිදී රේගුවේ පවතින අකාර්යක්ෂමතාව, වංචා දූෂණ සහ ජනතාව තුළ පවතින අප්‍රසාදය පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර මීට විසඳුම් ලෙස නව තාක්ෂණය දෙපාර්තමේන්තු මෙහෙයුම් කටයුතු වේගවත් කිරීම සඳහා යොදා ගැනීමෙන් කාර්යක්ෂමව සේවා සැපයීමේ සැලසුම් පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.
දෙපාර්තමේන්තුවෙහි නව ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුව තුළ පවතින අක්‍රමිකතා තුරන් කිරීම සඳහා දැඩි නීති සම්පාදනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මානව සම්පත් කළමනාකරණය, නව බඳවා ගැනීම් සහ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කරවා තිබෙනවා.
පසුගිය වසරේ රේගුව විසින් අත්කර ගන්නා ලද ආදායම් ඉලක්ක මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වූ අතර මෙවර ඉලක්ක ගත ආදායම සපුරා ගැනීම සඳහා රේගු දෙපාර්තමේන්තුව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.