රැකියා සඳහා විදෙස්ගත වීමේදී පුද්ගලික ඒජන්සි ගැන දැනුවත් වීමට කෙටි අංකයක්

රැකියා සඳහා විදෙස්ගත වීමේදී පුද්ගලික ඒජන්සි ගැන දැනුවත් වීමට කෙටි අංකයක්

රැකියා සඳහා පුද්ගලික ඒජන්සි ඔස්සේ විදෙස්ගත වන විට 1989 අංකය අමතා එම ඒජන්සි පිළිබඳ දැනුවත් වීමට හැකියාව පවතින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

රැකියා සඳහා විදේශගත කරන බව බව පවසමින් මුදල් වංචා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරයන් විසින් ප්‍රශ්න කරනු ලැබූ අතර ඊට පිළිතුරු ලබා දෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

තවද, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනුමත කරනු ලැබූ ඒජන්සි සහ ගාස්තු සම්බන්ධයෙන් සියලු තොරතුරු කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ දැනුවත් විය හැකි බවද එම නිලධාරීන් විසින් ප්‍රකාශ කළා.

එමෙන්ම යම් පාර්ශ්වයක් විසින් අනුමත මුදලට වැඩි මුදලක් අය කරන්නේ නම් හෝ බලපත්‍රයක් නොමැතිව යම් ක්‍රියාවලියකට සම්බන්ධවී ඇත්නම් කාර්යාංශට පැමිණිලි කළ හැකි බවයි එම නිලධාරීන් කාරක සභාවට දැනුම් දී සිටියේ.

රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් එම රටේ යුධ මෙහෙයුම් සඳහා යොදවන බවත්, ඉතාමත් අමානුෂික ලෙස ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළ බවත් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරු පෙන්වාදී තිබෙනවා.

ඊට පිළිතුරු ලබාදුන් සභාපතිවරයා මෙම තත්ත්වය පිළිබඳ තමා දැනුවත් බවත්, මෙය ඉතාම සංකීර්ණ තත්ත්වයක් බවත් සභාවට අවධාරණය කර සිටියා.

සංචාරක ප්‍රදේශයන්හි සංගීත සංදර්ශන සහ රාත්‍රී සාද සඳහා ශබ්ද විකාශන භාවිතය රාත්‍රී 10 වන තෙක් පමණක් සිමා වීම සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා යෝග්‍ය නොවන බවට මන්ත්‍රීවරයන් විසින් කාරක සභාව දැනුවත් කරනු ලැබූ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ සාමාන්‍ය ජනතාවට බාධා නොවන අයුරින් මේ කාරණාව පිළිබඳ කටයතු කළ යුතු බවයි.

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, නියෝජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ය‍ටතේ ඇති ආයතනවල නිලධාරීන් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වී සිටියා.

Share This