
ජනපති අනුර හමුවූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් සිදුව තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පස්වරුවේ පැවති එම හමුවේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම වඩා ලාභදායී රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් කිරීමට අදාළ යෝජනා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය කළමනාකරණය සඳහා ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
නව ආයෝජන අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී ආයතනයක් බවට පත් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් ලාභ ලැබුවද, වැරදි කළමනාකරණ තීරණ හේතුවෙන් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් අතර ඉහළින්ම ඇති ආයතනයක් වන අතර එම ආයතනය පෞද්ගලීකරණය කිරීමට පසුගිය ආණ්ඩුව විසින් ගන්නා ලද තීන්දුව වෙනස් කරමින් වත්මන් රජය එය තවදුරටත් ජාතික ගුවන් සේවය ලෙස පවත්වාගෙන යාමටත්, නව කළමනාකරණයක් යටතේ ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය කර ඉදිරියට පවත්වාගෙන යාමටත් තීරණය කර තිබෙනවා.