
අත්අඩංගුවට ගත් තලවකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝකට ඇප
දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද තලවකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා රුපියල් මිලියන දෙකක ශරිර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරාළ මහතා තම සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස එහිදී ඉල්ලා සිටි අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ඇපමත මුදා හරින ලෙස නියෝග කළාය.
තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා වශයෙන් සැකකරු කටයුතු කරමින් සිටියදී එම නගර සභාවට අයත් අංක 12 දරණ මස්කඩ කාමරය බදු දීමේදී වැඩිම ලංසුව ඉදිරිපත් කළ තැනැත්තාට එය ලබා නොදී අඩුම ලංසුව ඉදිරිපත් කළ අයට එය ලබාදීමෙන් රජයට රුපියල් 2,380,000/- ක පාඩුවක් සිදු කළේ යැයි සැකපිට අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.