ශ්‍රී ලංකා – කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

ශ්‍රී ලංකා – කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා.

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ‍මෙම සංගමය ස්ථාපිත කිරීම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුණා.

එහිදී ශ්‍රී ලංකා – කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා තේරී පත් වුණා.

ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර දශක හතක් මුළුල්ලේ පැවතෙන දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සිහිපත් කරමින් මෙහිදී කථානායකවරයා පැවසුවේ, ශ්‍රී ලංකාවේ 9 වන විශාලතම අපනයන වෙළඳපොළ කැනඩාව වන බවයි.

අන්තර් පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර වැදගත් පාලමක් ලෙස ක්‍රියා කරන බව කථානායකවරයා සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස කැනඩාවෙන් ඉල්ලා සිටින බව ද කථානායකවරයා ප්‍රකාශ කළා.

සංගමයේ අභිනව සභාපති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තු ද්විත්වය අතර පාලමක් ලෙස මිත්‍රත්ව සංගමයට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර දැනටමත් පවතින ශක්තිමත් සබඳතා වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය.

මිත්‍රත්ව සංගමයේ ලේකම් චන්දිම හෙට්ටිආරච්චි මහතා, කැනඩාවේ දීර්ඝ කාලීන මිත්‍රත්වයට සිය හෘදයාංගම කෘතඥතාව පළ කළ අතර අඛණ්ඩ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත තහවුරු කළේය.

පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්ථාපිත කිරීමේ රැස්වීමට පෙර, කථානායකවරයා කැනේඩියානු මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවකට ද එක්වූ අතර එහිදී, පාර්ලිමේන්තුව තුළ පර්යේෂණ මධ්‍යස්ථානයක් කඩිනමින් පිහිටුවීමේ සැලසුම් පිළිබඳව කථානායකවරයා පැවසීය.

පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් ඇතුළු අදාළ සියලුම පාර්ශ්වකරුවන්ට ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන් පිළිබඳ පැහැදිලි සහ සවිස්තරාත්මක තොරතුරු සැපයීම මෙම මධ්‍යස්ථානයේ අරමුණ බවත් වෛද්‍ය වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේය.

 

Share This